පොලිස්පතිවරයාට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දකුණු මුහුදු තීරයේ සිදුකළ සාර්ථක ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව, මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. නාවික හමුදාවට අයත් දිගුදුර ආවේක්‍ෂණ නෞකා යොදා ගනිමින් ගැඹුරු මුහුදේ සිදුකළ මෙම මෙහෙයුමේදී, සැකකටයුතු යාත්‍රා දෙකක් නිරීක්ෂණය වී ඇති අතර, ඉන් එක් යාත්‍රාවක සිටි පස් දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ සිටි හය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා සහ සැකකරුවන් අද (25) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී උර 14 ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 270 ක් සොයාගෙන ඇත. එම මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 184 යි ග්‍රෑම් 528 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 යි ග්‍රෑම් 268 ක් තිබූ බවට නිලධාරීන් විසින් තහවුරු කරගන්නා ලදී.
මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 ත් 50 ත් අතර පසුවන අම්බලන්තොට, කොස්වත්ත සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර ඔවුන් සතුව තිබී සන්නිවේදන උපකරණ තොගයක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස සහ නඩු භාණ්ඩ අද (25) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සැකකරුවන් දින 07 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කටයුතු කරමින් සිටී.