what-the-principal-said-when-she-came-to-isurupaya-regarding-the-problem-of-the-sirimavo-student

 කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ඉකුත් දා පැවති වර්ණ ප්‍රදානෝත්සවය අතරතුරදී ශිෂ්‍යාවකට අපේක්ෂිත සම්මානයක් නොලැබී යාම පදනම් කරගෙන ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම විද්‍යාලයේ විදුහල්පතිනිය කැඳවා කරුණු විමසීමක් සිදු කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ දැනුම් දීමකට අනුව ඉසුරුපාය වෙත පැමිණි විදුහල්පතිනි සුමේධා ජයවීර මහත්මිය 2023 සහ 2024 වර්ෂ සඳහා සම්මාන පිරිනැමීමේදී අනුගමනය කළ ක්‍රමවේදය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

වසර හතකට පසුව සංවිධානය කෙරුණු මෙම උත්සවයේදී පාසල් ක්‍රීඩිකාවකට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන 'විශිෂ්ටතම ක්‍රීඩිකාව' යන සම්මානය පිරිනැමීමේදී විශේෂිත නිර්ණායක කිහිපයක් සැලකිල්ලට ගත් බව විදුහල්පතිනිය සඳහන් කර තිබේ.


ඒ අනුව තනි ඉසව්වකින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් ලැබීම, සමස්ත ලංකා වාර්තාවක් තැබීම මෙන්ම ජාත්‍යන්තර තරගයකින් පිළිගත් ජයග්‍රහණයක් ලබා තිබීම ඇතුළු කරුණු රැසක් සලකා බලමින් අදාළ සම්මානය සඳහා නිර්දේශිත නාමයන් කල්තියා දැනුවත් කිරීමට කටයුතු කළ බව ද ඇය පවසා ඇත.

ගැටලුවට මුල් වූ ස්කොෂ් ක්‍රීඩිකාවට අදාළ ප්‍රධාන සම්මානය හිමි නොවුණේ ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබූ නිසා මිස පෙරහුරුවට සහභාගී නොවීම නිසා නොවන බවත්, පෙරහුරුවට නොපැමිණිය ද ඇය වෙනුවෙන් වර්ණ සහ විශේෂ සම්මානයක් පිරිනැමූ බවත් විදුහල්පතිනිය පෙන්වා දී තිබේ. එමෙන්ම විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් නභාෂි පෙරේරා දෙස් විදෙස් තරග රැසක් ජයගත් අති දක්ෂ පිහිනුම් ශූරියක් බව ද ඇය අමාත්‍යාංශ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

අදාළ ස්කොෂ් ක්‍රීඩිකාව මේ වන විට පාසලේ ආදි ශිෂ්‍යාවක් බවත්,


උත්සව අවස්ථාවේ සජීවීව බාධා කරමින් ඇය හැසිරුණු ආකාරය තුළින් පාසලේ කීර්ති නාමයට හානියක් මෙන්ම ඉදිරි පරම්පරාවට වැරදි ආදර්ශයක් ද ලබා දී ඇති බවත් විදුහල්පතිනිය චෝදනා කරන්නීය. උත්සවයට පෙර මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේදී කිසිදු ගැටලුවක් මතු නොකළ බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, විදුහල්පතිනියගෙන් මූලික අදියරේ කරුණු විමසීමක් සිදු කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් ලබා දෙන ලෙස ඇයට නියෝග කළ බවත්ය.