wennappuwa-accident-was-it-because-of-the-video-boys-obstructing-the-helicopter-landing-investigation

 දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම්වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එහි ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (30) පස්වරුවේ වෙන්නප්පුව, ලුණුවිල පාලම අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් දිවි අහිමි වූයේ විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ය.



ගංවතුරෙන් කොටු වී සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ගිය බෙල් 212 වර්ගයේ මෙම යානය කාර්මික දෝෂයකට ලක්ව හදිසි ගොඩබෑමක් සිදු කිරීමට උත්සාහ කර ඇති බව මූලික තොරතුරු මඟින් වාර්තා වේ. ගොඩබිමට යානය පාත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එම ස්ථානයේ ජනතාව රැස්ව සිටිනු දැක ඇති නියමුවා, සිදුවිය හැකි සිවිල් ජීවිත හානි වළක්වා ගැනීම සඳහා යානය අසල තිබූ ජල පහර (ගිං ඔය) වෙත යොමු කර ඇති බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ නිරීක්ෂණය වී තිබේ.




අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ නියමුවන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇති අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව වහාම ඔවුන් මුදාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසු වූ ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සහාය නියමුවා ඇතුළු සෙසු නිලධාරීන් සිව්දෙනා තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා 41 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි. ඔහු පියාසර පැය 3,000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කළ, ගුවන් හමුදාව සතු අත්දැකීම් බහුල දක්ෂ නියමුවෙකු බව ගුවන් හමුදාව තහවුරු කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති අතර මේ වන විටත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.




සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here

gossiplanka image 1