we-are-financially-strong-enough-to-withstand-the-devastation-of-cyclones-central-bank-governor

 ඩිට්වා සුළි කුණාටුව සහ ඉන් ඇති වූ පසුකාලීන බලපෑම් හමුවේ ආර්ථිකයට එල්ල විය හැකි හදිසි කම්පන දරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින රාජ්‍ය මූල්‍ය, මූල්‍ය සහ විදේශීය අංශය ඇතුළු සියලුම සාර්ව ආර්ථික ආරක්ෂණ උපක්‍රම භාවිත කිරීමට සූදානම් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ කොළඹදී පැවති ‘2025 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව’ අමතමින් හෙතෙම මේ බව අවධාරණය කළ අතර, මෙම ප්‍රකාශයත් සමඟ දේශගුණික විපර්යාස හේතුවෙන් ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම පිළිබඳව පැවති අනියත බිය යම්තාක් දුරට පහව ගොස් තිබේ.

අතීතයේ මුහුණ දුන් අර්බුද අවස්ථාවන්ට සාපේක්ෂව මෙවැනි හදිසි කම්පන අවශෝෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අද වන විට වඩාත් ශක්තිමත් ස්ථාවරයක පසුවන බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.


මෙම වසර මුලදී ඇති වූ හදිසි බාහිර කම්පන සඳහා සැලසුම් සකස් කර තිබූ බවත්, දේශගුණික විපර්යාස වැනි අභියෝග කළමනාකරණය කිරීමට රාජ්‍ය මූල්‍ය, මුදල් සහ විදේශීය අංශයේ මෙන්ම බැංකු පද්ධතියේ ද ප්‍රමාණවත් සංචිත (Buffers) පවතින බවත් හෙතෙම සඳහන් කළේය. සාමාන්‍ය තත්ත්වයන්ට වඩා මෙවැනි අර්බුද අවස්ථා සඳහා මෙම සංචිත වැදගත් වන බවත්, දේශීය හා ජාත්‍යන්තර ආධාර ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු ගිණුම් මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බවත් ඔහු කියා සිටියේය.

කෙටි කාලීන මූල්‍ය සහන ලබා දීම රජයට කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින අතර, බාහිර අංශයෙන් ද රට පෙරට වඩා යහපත් තත්ත්වයක පසුවන බව ආචාර්ය වීරසිංහ මහතා සඳහන් කළේය. මූල්‍ය අංශය සැලකීමේදී අවශ්‍ය වුවහොත් බැංකු පද්ධතියට ද්‍රවශීලතා සහාය ලබා දීමට මහ බැංකුව සූදානමින් සිටින නමුත් පසුගිය දින කිහිපය තුළ එවැනි මැදිහත් වීමක් අවශ්‍ය නොවූ බව ඔහු පැවසීය.


අතීතයේදී ද ද්‍රවශීලතා ආතතීන් කළමනාකරණය කිරීමට මහ බැංකුව මැදිහත් වී ඇති අතර, වසංගත සමයේදී රුපියල් බිලියන 250කට අධික මුදලක් වෙළඳපොළට මුදා හැරීම සහ 2022 වසරේ ඇති වූ දැඩි ද්‍රවශීලතා හිඟය පියවීමට හදිසි සහාය ලබා දීම තුළින් පද්ධතිය අස්ථාවර වීම වළක්වා ගත් බව ඔහු සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ආරක්ෂිත භාවය ද මේ වන විට වර්ධනය වී ඇති බව මහ බැංකු දත්ත සාක්ෂි දරයි. විදේශ විනිමය මිලදී ගැනීම් ඉහළ යාම සහ ගෙවුම් ශේෂයේ වර්ධනය හේතුවෙන් 2025 ඔක්තෝබර් මස අවසාන වන විට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත. දේශගුණික කම්පන සහ ගෝලීය අභියෝග හමුවේ ශ්‍රී ලංකාව තවමත් අවදානම් සහගත තත්ත්වයක පවතින නමුත්, මෙවැනි විචල්‍යතාවයන් මධ්‍යයේ වුවද ආර්ථිකයේ පුළුල් ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම ආයතනික අරමුණ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.