sajith-calls-for-a-national-day-of-mourning

 ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් අවම වශයෙන් ජාතික ශෝක දිනයක් හෝ ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.



මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආපදාවෙන් පීඩාවට පත්ව සිටින මොහොතක, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේ අවස්ථාව වෙන් කළ යුතුව තිබුණද, ඒ වෙනුවට අයවැය විවාදය පවත්වාගෙන යාමට සිදුවීම කණගාටුවට කරුණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.


විපතට පත් ජනතාව පිළිබඳව මේ තරමින්වත් නොතැකීම පිළිබඳව විපක්ෂ නායකවරයා සිය බලවත් කණගාටුව පළ කර සිටියේය.

පසුගිය වසර හතරක කාලසීමාව තුළ රට මුහුණ දුන් සිව්වන ඛේදවාචකය මෙය බව සිහිපත් කළ ප්‍රේමදාස මහතා, පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ රට බංකොලොත් වීම යන බරපතල අර්බුදවලට අමතරව මෙම සුළි කුණාටු තත්ත්වයද රටට බලපා ඇති බව සඳහන් කළේය.

විපතට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, මෙම අවස්ථාවේදී පීඩාවට පත් වූවන් රැකබලා ගැනීම සැමගේම වගකීමක් බවද වැඩිදුරටත් කියා සිටියේය.