two-suspects-who-assaulted-police-officers-remanded

හොරණ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් සිදුකිරීම සහ ප්‍රදේශයේ සාමය කඩවන ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් තරංගා ගී කියනගේ මහත්මිය නියෝග කළාය.




මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ වයස අවුරුදු 27 හා 28 වයස්වල පසුවන මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මොවුන් හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පවතින නිවසක වැඩ කිරීම සඳහා පැමිණ ඇත.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව, සැකකරුවන් සහ තවත් කිහිප දෙනෙකු මත්පැන් පානය කරමින් ඝෝෂාකාරී ලෙස ගීත ගායනා කරමින් අසල්වැසියන්ට හිරිහැර කරන බවට චෝදනා එල්ල වී තිබේ. එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී එක් නිලධාරියෙකුට තුවාල සිදු වී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.




සිද්ධියෙන් පසු හොරණ පොලිසිය වැඩිදුර නිලධාරීන් එම ස්ථානයට පිටත් කර යවා ඇත. ප්‍රදේශයේ සාමය කඩවන ලෙස හැසිරීම සහ පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පෑම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

නඩු විභාගයේදී පොලිස් පරීක්ෂක වික්‍රමාරච්චි මහතා කරුණු ඉදිරිපත් කළ අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් මිරිහාන මහතා පෙනී සිටියේය. හොරණ මූලස්ථාන පොලිස් පරික්ෂක රංග පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පරාක්‍රම ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.