ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුර කාලයේ මාස 11ක් සපිරීම නිමිත්තෙන් බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින්, "තීරු බදු" යනු තම ප්‍රියතම ඉංග්‍රීසි වචනය බව ප්‍රකාශ කළේය. ඔහුගේ පාලන සමයේ පළමු මාස 10 තුළ ලොව පුරා යුද්ධ අටක් වැළැක්වීමට තීරු බදු ප්‍රතිපත්තිය හේතු වූ බව ඔහු අවධාරණය කළේය.
එසේම හිටපු ජනාධිපති ජෝ බයිඩන් ධුරයෙන් ඉවත්ව යන විට තමාට විසඳීමට අර්බුද රැසක් ඉතිරි කර ගිය බවට ද ඔහු චෝදනා කළේය. කැනඩාව, මෙක්සිකෝව, බ්‍රසීලය සහ ඉන්දියාව වැනි රටවල් මත පනවා ඇති තීරු බදු හේතුවෙන් ඇමරිකානු ආර්ථිකයට අපේක්ෂිත මට්ටමට වඩා වැඩි ආදායමක් ලැබුණු බවත් එය රටට ප්‍රතිලාභයක් බවත් ඔහු පැවසීය.කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයින් මෙම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර ඇත. කොංග්‍රස් සභික ක්‍රිස් වැන් හොලන් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ කතාවේ ඇති අසත්‍ය තොරතුරු ගණනය කිරීම පවා දුෂ්කර බවයි. කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ කතාව පුරාම "මම, මම, මම" යන ස්වරය පමණක් ඇසුණු බවත් එය ආත්මාර්ථකාමී ස්වභාවයක් ගත් බවත් සඳහන් කළේය. ලෝකය දැන් ඇමරිකාවට විහිළු නොකරන බවත්, පෙර නොවූ විරූ ගෞරවයක් රටට ලැබෙන බවත් ට්‍රම්ප් පැවසීය. එසේම ලෝකය මෙතෙක් නොදුටු ආකාරයේ ආර්ථික පිබිදීමකට ඇමෙරිකාව සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
උද්ධමනය සහ ජීවන වියදම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෘජු පිළිතුරක් ලබා නොදුන් අතර, තම විශේෂිත ප්‍රතිපත්ති හරහා භාණ්ඩ මිල අඩු වන බවත් බලශක්ති සහ ආහාර මිල පාලනය කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. නමුත් නිල සංඛ්‍යාලේඛන ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරයි. ගාඩියන් පුවත්පත වාර්තා කරන පරිදි 2025 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ආහාර මිල 2.7% කින් ඉහළ ගොස් ඇති අතර, හරක් මස් සහ කෙසෙල් මිල 7% කින් ඉහළ ගොස් තිබේ. ඇමරිකානුවන් පවසන පරිදි ඔවුන්ගේ මාසික වියදම සාමාන්‍යයෙන් රුපියල් 9,000 සිට රුපියල් 66,000 දක්වා ඉහළ ගොස් ඇත. ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් සාමාන්‍ය ඇමරිකානු පවුලක වාර්ෂික වියදම රුපියල් ලක්ෂ 2 සිට 8 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව දත්ත මගින් තහවුරු වේ.
නීතිවිරෝධී සංක්‍රමණිකයින් ඇමරිකානු රැකියා සොරකම් කරන බවත්, නිවාස අර්බුද නිර්මාණය කරමින් සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශවල බදු මුදල් කාබාසිනියා කරන බවටත් ට්‍රම්ප් සිය කතාවේදී දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. විශේෂයෙන් මිනසෝටා හි සෝමාලි ප්‍රජාව රාජ්‍ය ආර්ථිකය ගසාකන බවට ඔහු චෝදනා කළද, වාර්තා පෙන්වා දෙන්නේ සංක්‍රමණිකයින් කෘෂිකර්මාන්තය සහ ඉදිකිරීම් වැනි අංශ හරහා ඇමරිකානු ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන බවත් ඔවුන් ලබා ගන්නා ප්‍රමාණයට වඩා බදු වශයෙන් රටට ගෙවන බවත්ය.
තවද, විදේශ ප්‍රතිපත්ති ගැන අදහස් දක්වමින් මැයි මාසයේදී ඉන්දු-පකිස්ථාන ගැටුමක් වැළැක්වීමට තමන් මැදිහත් වූ බව ට්‍රම්ප් මේ වන විට විවිධ අවස්ථාවල 60 වතාවකට වඩා ප්‍රකාශ කර ඇත. එහෙත් ඉන්දියාව මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ කිසිදු තෙවන පාර්ශවයක මැදිහත්වීමකින් තොරව ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති සෘජු සාකච්ඡා මාර්ගයෙන් එම සටන් විරාමයට එළඹි බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval