මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, එම පිටාර ජලයේ ඔරු පැදීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව සිටියදී ඔවුන්ගේ මළ සිරුරු පසුගිය 30 වැනිදා සවස සොයාගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මණ්ඩාවල මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි දහඅට හැවිරිදි සුදේශ් නිර්මාල් සහ දාහත හැවිරිදි නුවන් කුමාර යන මිතුරන් දෙදෙනා ය. මොවුන් දෙදෙනා සහ ඔෂාන් නමැති තවත් මිතුරෙකු පසුගිය 28 වැනිදා දහවල් කාලයේ විනෝදය සඳහා ගංවතුරේ ඔරු පැදීමට ගොස් ඇති අතර, පසුව ඔෂාන් නැමැති මිතුරා ආපසු එගොඩ කර දීම සඳහා ඔරුවේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
ඔවුන් ගමන් ගත් ඔරුවේ පැවති සිදුරකින් ජලය කාන්දු වීම හේතුවෙන් ඔරුව හදිසියේම පෙරළී ගොස් ඇති අතර, එහිදී ඔෂාන් නැමැති සිසුවා දිවි බේරා ගැනීමට සමත් වී තිබේ.
ඔහු දියේ ගිලෙමින් සිටි තම මිතුරන් දෙදෙනා බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන අතින් අල්ලාගෙන සිටිය ද, ජල පහරේ වේගය හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වී සිසුන් දෙදෙනා දියේ ගසාගෙන ගොස් ඇත.
අතුරුදන්ව දින තුනකට පසුව හමු වූ මෙම සිසුන්ගේ දේහයන් සම්බන්ධයෙන් කිරිඳිවැල හදිසි මරණ පරීක්ෂක පියසිරි මාගම්මන මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කර සිරුරු වතුපිටිවල රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි. වතුපිටිවල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි පී.ආර්. ජී.පී. රාජපක්ෂ මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය වී ඇත්තේ මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසියේ කොස්තාපල් ඒකනායක මහතා (106420) විසින් වැඩිදුර විමර්ශන සිදු කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval