ඩිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින්, අමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130J සුපර් හර්කියුලිස් (Super Hercules) වර්ගයේ යානා දෙකක් සහ 36 වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (CRG) ගුවන් භටයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ මෙම විශේෂ නියෝජිත පිරිස සහ ගුවන් යානා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.පී. අරුණ ජයසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.ගුවාම් (Guam) හි ස්ථානගත කර ඇති 36 වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමට අමතරව, ජපානයේ යොකොටා ගුවන් කඳවුරේ 374 වන ගුවන් ප්‍රවාහන අංශය සහ ජපානයේ ඔකිනාවා හි ස්ථානගත කර ඇති 3 වන මැරීන් බලකාය ද මෙම මෙහෙයුම් සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙනු ඇත.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරුන් ද සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හඳුනාගෙන ඇති ආපදාවට ලක්වූ ප්‍රදේශ වෙත අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය කඩිනමින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම කණ්ඩායම් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එක්ව කටයුතු ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ සහන කණ්ඩායම් සිදුකරන වීරෝදාර සේවය අගය කළ තානාපති ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළේ, ප්‍රවාහන හා සැපයුම් කටයුතු පිළිබඳ බර අමෙරිකාව විසින් භාරගනිමින් විපතට පත් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට කටයුතු කරන බවයි. එම සහයෝගය හරහා ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ සහන කණ්ඩායම්වලට ප්‍රවාහන කටයුතු වෙනුවට පීඩාවට පත් ජනතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව ලැබෙන බවත්, මෙම අභියෝගාත්මක අවස්ථාවේදී අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ස්ථාවරව රැඳී සිටින බවත් ඇය අවධාරණය කළාය.
මාර්ග අවහිර වී කාලය සීමිත වූ විට සැපයුම් ජාලය ජීවන රේඛාව බවට පත්වන බව පෙන්වා දුන් අමෙරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී මැතිව් හවුස් මහතා, ප්‍රවේශ වීමට අපහසු ප්‍රදේශවලට භාණ්ඩ ප්‍රවාහනය සඳහා C-130J යානය සතු විශේෂ හැකියාව පිළිබඳව පැහැදිලි කළේය. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමඟ නිරන්තරයෙන් සිදු කරන ලද ඒකාබද්ධ පුහුණු අභ්‍යාස හරහා ගොඩනඟා ගත් ශක්තිමත් සබඳතා, 'ඩිට්වා' වැනි හදිසි අර්බුද අවස්ථාවලදී එක්ව කටයුතු කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමඟ පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව, එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානය (INDOPACOM) විසින් මෙම ගුවන් යානා සහ පිරිස් යොදවා තිබේ.
ඒ අනුව, තාවකාලික වාසස්ථාන ද්‍රව්‍ය, පිරිසිදු ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කටුනායක ගුවන් කඳවුරේ සිට විපතට පත් ප්‍රදේශ වෙත ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහාය වීමට මෙම අමෙරිකානු යානා යොදවනු ලබයි.
මීට අමතරව, අමෙරිකානු ඩොලර් මිලියන 2.1ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 640ක්) වටිනා ඉන්ධන බවුසර්, ෆෝක්ලිෆ්ට් (forklifts), විදුලි පහන්, භූමියේ බලය සැපයීමේ ඒකක සහ ජංගම භාණ්ඩ පැටවීමේ වේදිකා ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ද මෑතකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබා දී තිබුණි. ආරක්ෂක සහයෝගීතාව යටතේ ලබා දුන් එම උපකරණ ද වර්තමාන ආපදා ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සඳහා මේ වන විටත් සක්‍රීයව යොදා ගනිමින් පවතින අතර, එමගින් දිවා රාත්‍රී දෙකෙහිම කාර්යක්ෂමව සහන සැපයීමේ හැකියාව ගුවන් හමුදාව වෙත ලැබී ඇත.
සුළි කුණාටුව කඩා වැදී පැය 72ක් ඇතුළත ආපදා ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන් සඳහා ඩොලර් මිලියන 2ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කිරීමට ද එක්සත් ජනපදය පියවර ගෙන තිබේ. විශ්වාසවන්ත ක්‍රියාත්මක කිරීමේ ආයතන හරහා මෙම ආධාර හදිසි වාසස්ථාන, ජලය, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා යොදවනු ලබන අතර, නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්හිදී ශ්‍රී ලංකා රජය සමඟ සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කරන බව තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval