තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, ගුවන්ගත වී සුළු වේලාවකින් හටගත් හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අද (17) අලුයම යළිත් කටුනායකටම ආරක්ෂිතව ගොඩබස්වා තිබේ. තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 733 දරන මෙම ගුවන් යානය ඊයේ (16) රාත්‍රී 10.00 ට පමණ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර, එම අවස්ථාවේදී යානය තුළ මගීන් 202 දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් A-330 වර්ගයට අයත් මෙම විශාල ගුවන් යානය ගුවන්ගත වීමෙන් පසු එහි රෝද පද්ධතිය (Landing Gear) නිසි පරිදි යානය ඇතුළට ක්‍රියාත්මක නොවන බව ගුවන් නියමුවාට නිරීක්ෂණය වී තිබේ. මෙම කාර්මික දෝෂයත් සමඟ යානය නැවත ගොඩබෑමට තීරණය කළ නියමුවා, ආරක්ෂිත ගොඩබෑමක් සඳහා යානයේ බර අඩු කිරීමට අමතර ඉන්ධන දහනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව හලාවත මුහුදු තීරයට ඉහළ අහසේ අඩි 4000ක් පමණ උසකින් සහ නොට්ස් 140ක පමණ වේගයකින් යානය පියාසර කරවමින්, ගොඩබෑමට අත්‍යවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පමණක් ඉතිරි වන තෙක් යානය අහසේ රවුම් ගසමින් තබා ගැනීමට නියමුවා කටයුතු කළේය.
මෙම හදිසි තත්ත්වය පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ ගිලන් රථ, ගිනි නිවීම් ඒකක සහ වෛද්‍ය කණ්ඩායම් සීරුවෙන් තැබීමට පියවර ගෙන තිබිණි. ඊට අමතරව ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා මීගමුව කලපුව ආශ්‍රිතව ද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ස්ථාපිත කර තිබූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් නියමුවාගේ දැඩි පරිශ්‍රමයෙන් අනතුරුව අද අලුයම 12.27 ට පමණ යානය නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති අතර සිද්ධියෙන් කිසිදු මගියෙකුට අනතුරක් වී නොමැත.
Comments
Post a Comment
Your comment will be visible after approval