2026 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කරනු ලැබූ රටවල් ලැයිස්තුවට තවත් රටවල් 07ක් එක් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කරයි. අදාළ රටවල පවතින පුද්ගල පරීක්ෂා කිරීම් (screening), විමර්ශන සහ තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රියාවලීන්හි පවතින බරපතල අඩුපාඩු සැලකිල්ලට ගනිමින්, ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම පුළුල් කිරීම් සිදු කර ඇත.
නව නියෝගයට අනුව බර්කිනා ෆාසෝ, මාලි, නයිජර්, දකුණු සුඩානය සහ සිරියාව යන රටවල් අලුතින් මෙම පූර්ණ සම්බාධක ලැයිස්තුවට එක් කර ඇති අතර, මීට පෙර අර්ධ සීමා කිරීම්වලට ලක්ව තිබූ ලාඕසය සහ සියරා ලියොන් යන රටවල් ද මෙවර පූර්ණ සංචරණ තහනමකට යටත් කර තිබේ. මීට අමතරව, පලස්තීන අධිකාරිය මගින් නිකුත් කරනු ලබන ලියකියවිලි භාවිතා කරමින් පැමිණෙන පුද්ගලයින්ට ද අමෙරිකාවට ඇතුළුවීම මෙම නව නියෝගය මගින් අවහිර කර ඇත.
මෙම පූර්ණ තහනමට අමතරව තවත් රටවල් 15ක් සඳහා අර්ධ ඇතුළුවීමේ සීමා සහ වීසා සීමා පනවා ඇති නමුත්, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි ධවල මන්දිරය විසින් එම රටවල් ලැයිස්තුව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැත. කෙසේ වෙතත්, 10949 ප්‍රකාශනය යටතේ මීට පෙර හඳුනාගත් ඇෆ්ගනිස්ථානය, බුරුමය, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන අධි අවදානම් සහිත රටවල් 12ක වැසියන් සඳහා පනවා තිබූ සීමා කිරීම් තවදුරටත් නොවෙනස්ව ක්‍රියාත්මක වනු ඇත.
සිරියාවේ නව ජනාධිපති අහමඩ් අල්-ෂරා සමඟ පසුගිය නොවැම්බරයේ පැවති සාකච්ඡාවලින් පසු එරට ස්ථාවර කිරීමට සහාය වන බවට ට්‍රම්ප් මීට පෙර ප්‍රතිඥා දී තිබුණ ද, පසුගියදා සිරියාවේදී එල්ල වූ බව කියන අයිඑස් ප්‍රහාරයකින් අමෙරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ සිවිල් භාෂා පරිවර්තකයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ජනාධිපතිවරයා සිය ස්ථාවරය දැඩි කර ඇත. සිරියාව මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට ප්‍රධාන හේතු ලෙස වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ ඉහළ අනුපාතය, මධ්‍යම රජයේ දුර්වලතාවය සහ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිවල පවතින ප්‍රමාණවත් නොවන ආරක්ෂක විධිවිධාන ධවල මන්දිරය විසින් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන්, දැනට වීසා බලපත්‍ර හිමි පුද්ගලයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ක්‍රීඩකයින් වැනි විශේෂිත වීසා කාණ්ඩ මෙන්ම අමෙරිකානු ජාතික අවශ්‍යතා වෙනුවෙන් පැමිණෙන පුද්ගලයින් සඳහා මෙම නියෝගයෙන් බාධාවක් නොවනු ඇත. අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර පාලන සමයේදී පනවන ලද මෙවැනි සංචරණ සීමා නීත්‍යානුකූල බව තහවුරු කර ඇති අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසි විමර්ශනයකට ලක් කළ නොහැකි පුද්ගලයින් රටට ඇතුළුවීම වැළැක්වීම ජනාධිපතිවරයාගේ බලතලවලට අයත් බව තීන්දු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval