දෙහිඅත්තකණ්ඩිය, උත්තරපුර සුසාන භූමියේදී තම පියා වස පානය කිරීමෙන් පසු ඔහුගේ දිවි බේරා ගැනීම සඳහා ගිය පුතෙකුට අධි බලැති විදුලි රැහැනක ගැටී අවාසනාවන්ත ලෙස මිය යෑමේ සිදුවීමක් දෙහිඅත්තකණ්ඩිය පොලීසියෙන් වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, නිකවැව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි එස්.එච්.ජී. චානක මධුෂාන් නම් තරුණයාය.
මියගිය තරුණයාගේ පියා වස වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව, චානක මධුෂාන් විසින් පියා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පියා පානය කළ වස බෝතලය සොයාගෙන එන ලෙස රෝහලේ වෛද්‍යවරුන් මධුෂාන්ට උපදෙස් දී ඇත. ඒ අනුව, වස බෝතලය සොයා දෙහිඅත්තකණ්ඩිය, උත්තරපුර සුසාන භූමියට ගිය මධුෂාන්, ඌරන් සඳහා අටවා තිබූ අධි බලැති විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සඳහන් කරයි.
පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, මේ ගම්මානයේම පදිංචි තරුණයන් දෙදෙනකු එක්ව අනවසර රක්ෂිත කැළෑවක වගාවන් සිදුකර ඇති අතර, එම වගාවන් ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අධි බලැති විදුලි රැහැන් ඇද ඇති බවයි. මධුෂාන් මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ, සුසාන භූමියේදී වස පානය කළ පියාගේ බෝතලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදීය. වස පානය කළ පියාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුවද, පුතා අවාසනාවන්ත ලෙස දිවි අහිමි කර ගැනීම පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය ගම්වාසීහු දැඩි කම්පාවට පත්ව සිටිති.
දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. ඒ. සුසන්ත, උප පොලිස් පරීක්ෂක සරත් ජයවර්ධන, පො. සැ.(23015) කුමාර සහ පො. කො.(78998) විජේතුංග යන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලදී. ඒ අනුව, දෙහිඅත්තකණ්ඩිය, උත්තරපුර ගම්මානයේ පදිංචි තරුණයන් දෙදෙනකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.