පසුගිය 22 වැනිදා අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි සිංගර් විදුලි උපකරණ අලෙවි කරන වෙළෙඳසැලක් තුළදී සිදුවූ ආන්දෝලනාත්මක වෙඩි තැබීම සහ ඉන් අනතුරුව හෙළිවූ තොරතුරු මේ වන විට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ. වෙළෙඳසැලේ කළමනාකරු ලෙස කටයුතු කළ හිරාන් කෝසල නමැත්තා ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරය සඳහා පැමිණි පාතාල වෙඩික්කරු සහ යතුරුපැදිකරු සිද්ධියෙන් පසු සැඟවී සිට ඇත්තේ මෙරට පොලිසියේ ඉහළම තනතුරක් හෙබවූ දේශබන්දු තෙන්නකෝන්ට අයත් මධ්‍යම පළාතේ පිහිටි නිවසක බව පොලිස් පරීක්ෂණ මගින් මේ වන විට තහවුරු වී ඇත.
මෙම අනාවරණයත් සමඟ අදාළ ඝාතන සිද්ධිය වෙනත් මාවතකට යොමු වී ඇති අතර සිද්ධිය පිටුපස ඇති පාතාල සබඳතා සහ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධතා පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ.ඝාතනය සිදුකිරීම සඳහා පැමිණි වෙඩික්කරු සහ ඔහු කැඳවාගෙන ආ පුද්ගලයා මධ්‍යම පළාතේ සිට පැමිණ ඇත්තේ මෝටර් රථයකින් බවත්, අම්බලන්ගොඩ ප්‍රදේශයට ළඟා වීමෙන් පසු ඔවුන් යතුරුපැදියකින් ගොස් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් විමර්ශනවලදී හෙළි විය. අපරාධය සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණි යතුරුපැදිය කළුදාවල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී අම්බලන්ගොඩ පොලිසිය විසින් සොයා ගන්නා ලදී. වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම යතුරුපැදිය පසුගිය වසරේ හංවැල්ල ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවයි. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් නැවතත් ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම දේශබන්දුගේ මධ්‍යම පළාතේ පිහිටි නිවස බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
අදාළ නිවස හිටපු පොලිස් ප්‍රධානියාට අයත් එකක් වුවද ඔහු එහි පදිංචිව නොසිටින අතර නිවසේ ආරක්ෂාව සඳහා මුරකරුවෙකු යොදවා තිබී ඇත. පොලිස් විමර්ශනවලට අනුව ඝාතකයින් ඉකුත් හත් වැනිදා සිට විසි එක් වැනිදා දක්වා කාලය තුළ එම නිවසේ ලැගුම් ගෙන සිට ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම නිවස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බවත්, එය ඩුබායිහි සැඟව සිටින පාතාල නායකයෙකු ලෙස සැලකෙන 'කරන්දෙණිය සුද්දා' විසින් ඉදිකර දුන් නිවසක් බවටත් විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් වෙඩික්කරු සහ සහායකයා එහි ලැගුම් ගෙන සිටියේ නිවසේ හිමිකාරිත්වය දරන හිටපු පොලිස් ලොක්කාගේ අනුදැනුම ඇතිවද නැතිවද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.
ඝාතකයින් අදාළ නිවසේ සැඟවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම නිවස වටලනු ලැබුවද, ඊට පෙර සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගොස් තිබිණි. පොලිසිය එම නිවස වටලන බවට කල්තියා පොලිසිය ඇතුළතින්ම තොරතුරක් කාන්දු වූයේද යන්න පිළිබඳවද මේ වන විට සැකයක් මතු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ මුරකරුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර, වහලයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා බව පවසමින් කොන්ත්‍රාත්කරුවන් ලෙස පෙනී සිටි පිරිසක් මෙම නිවසේ රැඳී සිටි බවට තොරතුරු හෙළි වී ඇත. 'අනුර' සහ 'පොඩි මහත්තයා' යන අන්වර්ථ නාමවලින් හැඳින්වෙන පුද්ගලයින් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට මූලික වී ඇති බවත්, ඔවුන් කරන්දෙණිය සුද්දාගේ සමීපතමයන් බවත් පැවසේ.
කෝසල ඝාතනයට අදාළව මේ වන විට පුද්ගලයින් අට දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මහර කඩවත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක්, බලපිටිය මූලික රෝහලේ සේවය කරන 39 හැවිරිදි සෞඛ්‍ය සේවා සහායකයෙක්, පිටිගල ප්‍රදේශයේ බස් රථ රියදුරෙක්, රත්ගම සිරකඳුර වත්ත ප්‍රදේශයේ ධීවර කාර්මිකයෙක් සහ දොඩම්දූව ගම්මඩුවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත් වී තිබේ. විශේෂයෙන්ම අත්අඩංගුවට ගත් කාන්තාවගේ නිවසේ සඟවා තිබියදී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන ජීව උණ්ඩ පහළොවක් සහ රිවෝල්වරයක් සමඟ උණ්ඩ දහයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගන්නා ලදී. මෙම කාන්තාව ඩුබායිහි සිටින කරන්දෙණියේ සුද්දා සමඟ දීර්ඝ කාලයක සිට සබඳතා පවත්වන අයෙකු බවටද තොරතුරු ලැබී ඇත.
ඝාතනයට ලක්වූ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා යනු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගරාධිපති ධුරය සඳහා තරඟ කළ ව්‍යාපාරිකයෙකි. මොහුට එරෙහිවද මීට පෙර ඝාතන චෝදනා එල්ල වී තිබූ අතර, 2014 සහ 2015 වසරවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වී තිබිණි. ඔහු කරන්දෙණියේ සුද්දා, කොස්ගොඩ සුජී සහ පොඩි ලැසී වැනි පාතාල නායකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූවෙකු බව පොලිසිය පවසයි. මෑතකදී ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 'ලොකු පැටී' නැමැත්තා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බවත්, කලක් විරසක වී සිටි ඔවුන් දෙදෙනා නැවත සබඳතා ගොඩනඟාගෙන ඇති බවත් කෝසලගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් හෙළි වී තිබේ. ඝාතනය වූ හිරාන් කෝසල පාතාලයින්ගේ මුදල් ගනුදෙනු සඳහා සහාය වූ අයෙකු බවත් ඊසි කෑෂ් ඔස්සේ සිදුවන ගනුදෙනුවල 'කැෂියර්' ලෙස සිටි පුද්ගලයෙකු බවත් පොලිසියට තොරතුරු අනාවරණයවී තිබේ. මෙම ඝාතනය දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි දෙකක් අතර පවතින බල අරගලයක ප්‍රතිඵලයක් බවට සැක කෙරේ.
ඝාතනය සිදුවූ දිනයේ වෙඩික්කරු වෙළෙඳසැලට කඩා වැදී වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ පළමු ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති අතර, පසුව ඔහු යතුරුපැදිය වෙත දිව ගොස් සහායකයා සතුව තිබූ අනෙක් ගිනි අවිය රැගෙන විත් වෙඩි තැබීම සිදු කර ඇත. පළමු වෙඩි ප්‍රහාරයෙන් පසුවද තුවාලකරු මියගියාද යන්න තහවුරු කර ගැනීමට ඝාතකයා නැවත වෙළෙඳසැල තුළට පැමිණ ඇති බව සීසීටීවී දර්ශන මගින් තහවුරු විය. වෙඩික්කරු සහ යතුරුපැදිකරු ප්‍රවාහනය කළ මෝටර් රථයද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර එය කඩවත ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුට අයත් එකක් බව හෙළි වී තිබේ. කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 'ගුටියා' නමැත්තා මෙම ඝාතනයට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.
හිටපු පොලිස්පතිවරයාගේ නම මෙම සිද්ධියට සම්බන්ධ වීම හේතුවෙන් වත්මන් පොලිස්පතිවරයාගේ නියෝග මත වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පවරා තිබේ. ඩුබායි රාජ්‍යයේ සිටින 'දෙනා' නමැත්තා හරහා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වී ඇති බවටත්, එයට දසුන් මානවඩු නමැත්තාගේ මැදිහත්වීම සිදුව ඇති බවටත් තොරතුරු ලැබී ඇත. බන්ධනාගාර තුළ සිටින පාතාල සාමාජිකයින් ජංගම දුරකථන භාවිතා කරමින් මෙවැනි අපරාධ මෙහෙයවීම පිළිබඳවද නැවත වරක් දැඩි අවධානයක් යොමු වී ඇති අතර, පසුගිය දින කිහිපය තුළ බන්ධනාගාර තුළින් ජංගම දුරකථන 140කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබීම ඊට කදිම සාක්ෂියකි. ඉදිරියේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.