හිටපු කථානායක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අතින් සිදුවූ රිය අනතුර කිසිසේත් හිතාමතා සිදු කළ ක්‍රියාවක් නොව අහඹු ලෙස සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් බවත්, ඒ සම්බන්ධයෙන් තමන් බලවත් සේ කණගාටු වන බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
ලංකා ගුරුසේවා සංගමය විසින් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාන්විතයකට සහභාගී වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වන අතරතුර ඔහු මෙම කරුණු අනාවරණය කළේය.මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූ එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට මුහුණ දුන් අශෝක රන්වල මහතා ද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අනතුරට ලක්වූ දරුවා, මව ඇතුළු පාර්ශවයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් පහසුකම් සැලසීම වෙනුවෙන් තමන් ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පෞද්ගලිකවම මැදිහත් වී සොයා බලමින් සිටින බවද හෙතෙම තහවුරු කළේය.
අනතුර සම්බන්ධයෙන් නීතිය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසිය වෙත විධිමත් උපදෙස් ලබා දී ඇති පසුබිමක, සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමට දරන උත්සාහය ඔහු දැඩිව විවේචනය කළේය. විශේෂයෙන්ම රන්වල මහතා මත්පැන් පානය කර රථය ධාවනය කළ බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අවධාරණය කළ ජයසිංහ මහතා, අවශ්‍ය නම් ඒ පිළිබඳව නීත්‍යානුකූල පරීක්ෂණයක් සිදු කර සත්‍ය තහවුරු කර ගැනීමට පොලිසියට පූර්ණ හැකියාව පවතින බව වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval