the-fate-of-sri-lankan-players-in-the-ipl-2026-auction

 2026 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම වටිනාකමක් හිමි කරගත් ක්‍රීඩකයින් පහළොස් දෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වීම විශේෂ සිදුවීමක් විය.



මෙහිදී වැඩිම අවධානයක් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූ මතීෂ පතිරණ, සමස්ත වෙන්දේසියේ දෙවන ඉහළම වටිනාකම තමා සතු කර ගැනීමට සමත් වූ අතර ඔහුව ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.




ප්‍රථම වරට මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ පැතුම් නිස්සංක වෙනුවෙන් ඔහුගේ මූලික ලන්සුව වූ ඉන්දීය රුපියල් ලක්ෂ 75ක අගය ඉක්මවා යමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 04ක ලන්සුවක් තබා ඔහුව මිලදී ගෙන තිබේ.

වනිඳු හසරංග ද මෙම වෙන්දේසියේදී අලෙවි වූ අතර, ඔහුගේ මූලික වටිනාකම වූ ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඔහුව තම කණ්ඩායමට එක්කර ගන්නා ලදී.

කෙසේ වෙතත්, මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන මහීෂ් තීක්‍ෂණ, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු සහ ට්‍රැවින් මැතිව් යන ක්‍රීඩකයින් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නොතිබිණි.

වෙන්දේසියට ඉදිරිපත් නොකළ ද, ක්‍රීඩක රඳවා ගැනීමේ ක්‍රමවේදය යටතේ නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ද, ඉෂාන් මාලිංග සහ කමිඳු මෙන්ඩිස් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ද, දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් පිලට ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.