ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි බොන්ඩායි වෙරළ තීරයේ ඉරිදා දින පැවති හනුකා (Hanukkah) උත්සවයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර අවුරුදු 10 ක දැරියක් ද වන බවත්, මරණකරුවන්ගේ වයස් සීමාව අවුරුදු 10 සිට 87 දක්වා පරාසයක පවතින බවත් පොලිසිය තහවුරු කරයි.
මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා පරීක්ෂණ පවත්වන බව නිව් සවුත් වේල්ස් පොලිසිය ප්‍රකාශ කර සිටියි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ වෙරළ තීරයේ 1000 කට අධික පිරිසක් රැස්ව සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ළමුන් තිදෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා ඇත.මෙම කුරිරු ප්‍රහාරය දියත් කර ඇත්තේ පියෙකු සහ පුතෙකු විසිනි. වයස අවුරුදු 50 ක් වන පියා පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, 24 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
රෝහල්ගතව සිටින සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය මත ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ඉඩ ඇති බව බලධාරීහු පවසති. ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන්ට අනුව, 24 හැවිරිදි සැකකරු පාකිස්තාන ජාතිකයෙකු වන නවීඩ් අක්‍රම් (Naveed Akram) ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ද පරීක්ෂාවට ලක් කර තිබේ. මියගිය පියාගේ නම මෙතෙක් හෙළි කර නොමැති වුවද, ඔහු වසර දහයක පමණ කාලයක් තිස්සේ ගිනි අවි බලපත්‍රයක් හිමි අයෙකු බවත්, ගිනි අවි සමාජයක සාමාජිකයෙකු බවත් අනාවරණය වී ඇත.
ප්‍රහාරය සිදුවූ ස්ථානයේ තිබී සැකකරුට අයත් බලපත්‍රලාභී ගිනි අවි හයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මීට අමතරව, එම ස්ථානයට ආසන්නයේ තිබී සහ සැකකරුවන්ගේ වාහනයක තිබී සක්‍රීය මට්ටමේ අත්බෝම්බ (IEDs) කිහිපයක් ද සොයාගත් බවත්, ඒවා නිලධාරීන් විසින් ආරක්ෂිතව නිශේධනය කළ බවත් නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැන්යොන් (Mal Lanyon) සඳහන් කළේය. මෙම ප්‍රහාරය සැලසුම් කළ බවට පූර්ව අනතුරු ඇඟවීමක් හෝ තොරතුරක් ලැබී නොතිබූ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මුලදී තුන්වන සැකකරුවෙකු පිළිබඳව සොයා බැලුවද, මේ වන විට වෙනත් සැකකරුවන් සොයන්නේ නැති බව පොලිසිය තහවුරු කර ඇත.
මෙම ඛේදවාචකය අතරතුර 43 හැවිරිදි පළතුරු වෙළෙන්දෙකු වන අහමඩ් අල් අහමඩ් නැමැත්තා දැක්වූ වීරත්වය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ. කැම්බල් පෙළපාවුර අසල නවතා තිබූ මෝටර් රථයක් පිටුපසින් පැමිණි ඔහු, වෙඩි තබමින් සිටි එක් සැකකරුවෙකු වෙත කඩා පැන පොරබදා ගිනි අවිය උදුරා ගැනීමට සමත් වී ඇත. එම පොරබැදීමේදී ඔහු වෙඩි වැදී තුවාල ලබා තිබේ. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ අහමඩ්ගේ එම ක්‍රියාව නිසා බොහෝ ජීවිත බේරා ගැනීමට හැකි වූ බවයි.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මෙම සිදුවීම හෙළා දකිමින් කියා සිටියේ තුවක්කුකරුවන් හනුකා උත්සවයේ පළමු දිනයේදී යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් කොමසාරිස්වරයා පැවසුවේ අයිසිස් (Isis) ධජයක් හමුවීම වැනි වාර්තා ගැන හෝ අනුමාන කිරීම් ගැන නිශ්චිතව කරුණු දැක්වීමට මෙය අවස්ථාව නොවන බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය පිටුපස ඇති චේතනාවන් සොයා බැලීම පරීක්ෂණවල වැදගත් කොටසක් බව ඔහු අවධාරණය කළේය.


Comments
Post a Comment
Your comment will be visible after approval