the-detainees-at-the-kandakadu-rehabilitation-camp-were-rescued-by-tanks

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට එල්ල වූ ගංවතුර අවදානම හේතුවෙන් එහි සිටි රැඳවියන් ඇතුළු විශාල පිරිසක් ආරක්ෂිතව ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ විසින් පසුගිය 29 වැනිදා විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී.

මහවැලි ගඟ සෝමාවතිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමත් සමඟ කඳවුර ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුවූ හෙයින්, යුද හමුදා යුද ටැංකි, බස් රථ සහ ලොරි රථ යොදා ගනිමින් අදාළ පිරිස සේනපුර තෘතීයික පුහුණු මධ්‍යස්ථානය වෙත කඩිනමින් රැගෙන යාමට පියවර ගෙන තිබේ.




මෙම හදිසි ආපදා තත්ත්වය හමුවේ ක්‍රියාත්මක වූ යුද හමුදාව, නාවික හමුදාව සහ පොලීසිය එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුම මගින් පුනරුත්ථාපනය ලබමින් සිටි රැඳවියන් 359 දෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී ඇත. ඊට අමතරව එම කඳවුරේ සේවයේ නියුතුව සිටි හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ 150 දෙනෙකු ද මෙම විශේෂ රථ මගින් ආරක්ෂිතව සේනපුර කඳවුර වෙත මාරු කර යැවූ බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එල්. පී. ජේ. කුමාරසිංහ මහතා සඳහන් කළේය.

පවතින ගංවතුර සහ අයහපත් කාලගුණ තත්ත්වය පහව යන තෙක් මෙම සියලු දෙනා සේනපුර පුහුණු මධ්‍යස්ථානයේ තාවකාලිකව රඳවා තැබීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් මේ වන විට සපයා දී තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ සේනපුර කඳවුරේ උසස් හමුදා නිලධාරියෙකු තහවුරු කර සිටියේ රැගෙන ආ සියලුම රැඳවියන් සහ නිලධාරීන් මේ වන විට ඉතා සුරක්ෂිතව එම මධ්‍යස්ථානයේ පසුවන බවයි.




gossiplanka image 1