tanzanian-woman-who-arrived-in-sri-lanka-for-transit-gives-birth-at-the-airport

ඩුබායි සිට පැමිණ මැලේසියාව බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි ටැන්සානියානු ජාතික ගුවන් මගී කාන්තාවක් අද (05) උදෑසන ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළදී දරුවෙකු ප්‍රසූත කර තිබේ.



වයස අවුරුදු 29ක් වන මෙම කාන්තාව ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් 8 ඩී – 822 දරන ගුවන් යානයෙන් අද උදෑසන 06.30ට පමණ ඩුබායි සිට කටුනායකට පැමිණ ඇති අතර, ඇය එතැන් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාමේ අරමුණින් සංක්‍රමණික පර්යන්තයේ රැඳී සිට ඇත.




එහි රැඳී සිටින අතරතුර ඇයට හදිසියේ ඇති වූ ප්‍රසූත වේදනාව හේතුවෙන් වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් ඇයව ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

එම මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ මැදිහත්වීමෙන් හා සහාය ඇතිව ඇය නිරුපද්‍රිතව පිරිමි දරුවෙකු ප්‍රසූත කළ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව මව සහ අලුත උපන් බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සහ නිරීක්ෂණ කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළට අයත් ගිලන් රථයක් මගින් මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.