ආපදාවට ලක් වූ ප්‍රදේශවල යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා රජය ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළට සෘජු දායකත්වයක් ලබා දෙමින්, ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 විශේෂ ගුවන් යානයක් අද (04) දහවල් දිවයිනට ළඟා විය. අත්‍යවශ්‍ය බේලි පාලම් කොටස් සහ විශේෂඥ කාර්ය මණ්ඩලයක් රැගත් මෙම ගුවන් යානය පැමිණීම, විපතට පත් ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීමට ලැබුණු විශාල පිටිවහලක් ලෙස සැලකේ.
රැගෙන ආ ආධාර තොගය අතර හදිසි මෙහෙයුම් අවශ්‍යතා අනුව සකස් කර භාවිත කළ හැකි බේලි පාලම් කොටස් සහ ඊට අදාළ ඉදිකිරීම් ද්‍රව්‍ය ප්රමුඛ වේ.
විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් හමුවේ මාර්ග සබඳතා බිඳ වැටුණු ප්‍රදේශ සඳහා ක්ෂණිකව යෙදවිය හැකි අඩි 110ක් දිග ද්වි-මාර්ග (double-lane) බේලි පාලම් පද්ධතියක් ද මෙම තොගයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව ගංවතුර සහ නායයෑම් බහුල ප්‍රදේශවල සෝදිසි කිරීම්, ජීවිත බේරා ගැනීම් සහ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා භාවිත කළ හැකි ඩිංගි බෝට්ටු පහක් ද ඉන්දියාව විසින් මෙම අවස්ථාවේදී ලබා දී තිබේ.
තාක්ෂණික සහාය ලබා දීම සඳහා ක්ෂණික පාලම් ඉදිකිරීම් පිළිබඳ විශේෂ පුහුණුව ලත් ඉංජිනේරුවන් 20 දෙනෙකු සහ වෛද්‍ය නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත 25 දෙනෙකුගේ විශේෂඥ කණ්ඩායමක් ද මෙම ගුවන් යානයෙන්ම දිවයිනට පැමිණ සිටිති. මෙම පිරිස දේශීය ඉංජිනේරුවන් සහ හදිසි සහන සේවා කණ්ඩායම් සමඟ ඒකාබද්ධව ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතය. මෙම අසීරු අවස්ථාවේදී පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ආහාර, ඖෂධ සහ යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දියාව ලබා දෙන මෙම අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවේ ඉහළ ඇගයීමට ලක්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval