මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති බවට ලැබුණු තොරතුර මහජනතාව කලබලයට පත්කිරීමේ අරමුණින් සිදුකළ බොරුවක් බවට පොලීසිය සැක පළ කරයි. මේ සම්බන්ධයෙන් අද (27) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන බවයි.
ඊයේ (26) දින මෙම කාර්යාලයේ ඊ-මේල් ලිපිනයට පණිවිඩයක් ලැබී තිබූ අතර, එහි දැක්වුණේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ස්ථාන පහක බෝම්බ සඟවා ඇති බවයි.
මෙම තොරතුර පිළිබඳව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව, මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කෙරිණි.
දෙසැම්බර් 26 වන දින උදෑසන සිට සවස් වන තුරු ක්‍රියාත්මක වූ මෙම පුළුල් සෝදිසි මෙහෙයුම්වලදී කිසිදු සැකකටයුතු පුපුරණ ද්‍රව්‍යයක් සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව, පොලීසිය තවදුරටත් අවධාරණය කර සිටින්නේ, මෙම තොරතුර මහජනතාව තුළ කලබලකාරී තත්ත්වයක් ඇතිකිරීමේ අරමුණින් සිදුකළ එකක් බවට සැක කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය හරහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවත්ය.