
දිවයින පුරා බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු යළි සක්‍රීය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව ආපදා තත්ත්වයෙන් බලපෑමක් එල්ල නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන එළඹෙන දෙසැම්බර් මස 08 වැනි දින සිට නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේය.
පවතින ආපදා තත්ත්වය හමුවේ අතරමග නතර කිරීමට සිදුවූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කටයුතු පිළිබඳව ද අද දින පැවති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා අදහස් පළ කළේය. විභාගයේ පැවැත්වීමට නොහැකි වූ ඉතිරි විෂයන් සඳහා 2026 වර්ෂයේ ජනවාරි මස මුල් සතියේ දී දින නියම කර ගැනීමට කටයුතු කරමින් සිටින බව හෙතෙම එහිදී අවධාරණය කළේය.
පාසල් පද්ධතිය නැවත ආරම්භ කිරීමේදී පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් පවතින තත්ත්වයන් පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. ගමනාගමන පහසුකම්, සන්නිවේදන සේවා සහ විදුලිය සැපයුම යථා තත්ත්වයේ පවතින ආපදාවන්ට ලක් නොවූ දිස්ත්‍රික්ක සහ පළාත්වල පාසල් දෙසැම්බර් මස 16 වැනි දින ආරම්භ කිරීමට නියමිත අතර, සෙසු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය නිලධාරීන් හා සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.
උසස් අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වැනිදා ආරම්භ කිරීමට පොදු තීරණයක් ගෙන තිබුණ ද, යම් ආයතනයක ප්‍රායෝගික ගැටලු පවතින්නේ නම් ඒ පිළිබඳව නම්‍යශීලීව කටයුතු කිරීමට අවසර ලබා දී තිබේ. එවැනි අවස්ථාවක අදාළ ආයතනය නැවත ආරම්භ කළ යුතු දිනය තීරණය කිරීමේ බලය එම ආයතන ප්‍රධානීන්ට පවරා ඇති බව නාලක කලුවැව මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval