patient-shot-at-nagoda-hospital

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඉලක්ක කර ගනිමින් අද (31) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ රෝහලේ අංක 14 දරන ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු වෙත, කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි.




උදෑසන 06.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සැකකරු විසින් රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් ඒ සඳහා භාවිත කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි 35 හැවිරිදි සැකකරුවෙකි.

බන්ධනාගාරයේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටියදී ඔහු මෙම ප්‍රහාරයට මුහුණ දී ඇති අතර වෙඩි වැදීමෙන් ඔහුගේ උදර ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබේ. තුවාල ලැබූ රැඳවියා මේ වන විට හදිසි ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.




සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය මගින් විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇත.