opposition-leader-sajith-meets-australian-high-commissioner-to-seek-help-for-sri-lanka

 දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පෙරවරුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක නිරත විය.



මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව දෙපාර්ශ්වය අතර පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනුණු අතර, එහිදී මෑතකදී ඇති වූ ආපදා තත්ත්වය රටට බලපා ඇති ආකාරය විපක්ෂ නායකවරයා විසින් පැහැදිලි කරන ලදී. විශේෂයෙන්ම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දේශීය ව්‍යාපාර බිඳ වැටීම, සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීම මෙන්ම යටිතල පහසුකම් රැසකට සිදුව ඇති දැඩි විනාශය පිළිබඳව මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා


මහකොමසාරිස්වරයාගේ අවධානයට යොමු කළේය.

විනාශයට පත් යටිතල පහසුකම් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සහ අවතැන් වූ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම, මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ලබා දුන් මානුෂීය ආධාර සහ සහන සේවා කෘතවේදීව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, ඒ සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ එරට ජනතාවට සිය ස්තූතිය පිරිනැමීමට ද කටයුතු කළේය.