chef-arrested-with-15-pigeons-taken-from-zoo

 දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධිකරණ නියෝග මත ආරක්ෂාව සඳහා රඳවා සිටි විදේශීය පරෙවියන් තිස්දෙදෙනකු සත්වෝද්‍යානයේ කූඩුවල ඉබි යතුරු කඩා සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විසිහතර හැවිරිදි තරුණයකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 06 වැනිදා සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමේදී හෙළිවී ඇත්තේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි සැකකරු වෘත්තියෙන් සූපවේදියකු ලෙස කටයුතු කරන්නෙකු බවයි.



මෙම පරෙවියන් විදේශයක සිට නීතිවිරෝධී ලෙස ගුවන් මගින් මෙරටට ගෙන්වීමට උත්සාහ කළ අවස්ථාවකදී ගුවන් තොටුපොළේදී


රේගු නිලධාරීන් සහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අදාළ නඩු කටයුතු අවසන් වන තෙක් තාවකාලික භාරකාරත්වය සඳහා සත්වෝද්‍යානය වෙත භාර දී තිබූ සතුන් පිරිසක් බව වාර්තා වේ. පසුගිය ඔක්තෝබර් මස 05 වන දින රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් සූක්ෂම ලෙස එම පක්ෂීන් රඳවා සිටි කූඩුවල ඉබි යතුරු කඩා පක්ෂීන් 32 දෙදෙනාම සොරාගෙන ගොස් තිබූ අතර මේ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන පාලනාධිකාරිය විසින් පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි.




මේ අතර ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ. ගුණසේකර මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම දියත් කර ඇත. කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක කුමාරසිරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ පුළුල් විමර්ශනයකින් පසුව සැකකරු නැදිමාල ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරාගත් පරෙවියන්ගෙන් පහළොස් දෙනෙකු ද සැකකරු සන්තකයේ තිබී නිරුපද්‍රිතව සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.