එළඹෙන 2025-2026 ශ්‍රී පාද වන්දනා වාරයේදී හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට ඉඳිකටුපාන ප්‍රදේශයෙන් ඉහළට ගමන් කිරීමේදී විශේෂ සීමාවන් පනවා ඇති බව නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා නිවේදනය කර සිටියි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ භූමියේ ආරක්ෂිතභාවය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ පරීක්ෂණයකින් අනතුරුව ලබා දී ඇති නිර්දේශ මත මෙම තීරණයට එළඹ තිබේ.
මෙම නව තීරණයට අනුව හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන්ට සුපුරුදු පරිදි ඉඳිකටුපාන දක්වා ගමන් කළ හැකි අතර, එතැන් සිට ඉඳිකටුපාන පොලිස් මුරපොළ පසුකර මීටර් 600ක් පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව රත්නපුර මාර්ගයට පිවිසීමට සිදුවනු ඇත. හැටන් මාර්ගයෙන් පැමිණෙන බැතිමතුන්ට ශ්‍රී පාද උඩමළුව දක්වා ගමන් කිරීමට අවස්ථාව සලසා දී ඇත්තේ මෙසේ රත්නපුර මාර්ගයට සම්බන්ධ වීම හරහා ය.
මෑතකදී ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ සිදු වූ පස් කන්දක් කඩා වැටීමේ සිද්ධිය හේතුවෙන් ඇති වී තිබෙන අවදානම් තත්ත්වය සලකා බලා මෙම පියවර ගෙන ඇති අතර ඉදිරියේදී එම ස්ථානයේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු කිරීමට ද නියමිතව තිබේ. වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇති අතර, ඒ සඳහා අමතර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට ද කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් අවධාරණය කළේ
වන්දනාකරුවන් කොපමණ පිරිසක් පැමිණිය ද ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ප්‍රමුඛතම කාරණය ලෙස සලකා කටයුතු කළ යුතු බවයි. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් මධ්‍යයේ වුවද 2025-2026 ශ්‍රී පාද වන්දනා වාරය අඛණ්ඩව පවත්වාගෙන යන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval