නුවරඑළිය නගරයේ පසුගිය නොවැම්බර් 27 වැනිදා ඇතිවූ ගංවතුර තත්ත්වයට හේතුව වූයේ පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔය පිටාර ගැලීම බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි. නගරාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) නුවරඑළිය නගර සභා ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදීය.
නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත නොකිරීම හේතුවෙන් නගරය ජලයෙන් යට වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කළද, එම ප්‍රකාශ අසත්‍ය බව නගරාධිපතිවරයා අවධාරණය කළේය. නගරය ජලයෙන් යටවීමට පෙර ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙකම විවෘත කළ බවද ඔහු තවදුරටත් පැවසීය.
දින තුනක් අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තලගල ඔයේ ජල මට්ටම ඉහළ යාම, නගරයේ අනවසර ඉදිකිරීම්, ඇළ මාර්ග පටු වීම සහ ග්‍රෙගරි වැවේ වාන් දොරටු පුළුල් කිරීමට නොහැකි වීම යන කරුණු හේතුවෙන් නුවරඑළිය නගරය ජලයෙන් යට වූ බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට යන මාර්ගය, තුරඟ පිටිය සහ ගොල්ෆ් පිටිය ඇතුළු ස්ථාන රැසක් විනාශ වී ඇත.
බලපෑමට ලක්වූ කෘෂිකාර්මික, සංචාරක සහ වාණිජ අංශ සංවර්ධනය කිරීමටත්, නගරය යථා තත්ත්වයට පත් කිරීමටත් සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව නගරාධිපතිවරයා පැවසීය. ඉදිරියේදී මෙවැනි ගංවතුර තත්ත්වයන් වැළැක්වීම සඳහා කෙටි, මධ්‍ය හා දිගු කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නුවරඑළිය මහ නගර සභාව සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සිවන්ජෝති යෝගරාජා, නාගරික කොමසාරිස්, නාගරික ලේකම් සහ නගර සභාවේ පාලක සභා සාමාජිකයන් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval