no-matter-how-well-we-try-we-are-always-getting-mud-shanudri-priyasad

 ශනුද්‍රි ප්‍රියසාද් රංගන ශිල්පිනිය'මෝඩ තරිඳු' සහ 'නීරා' චිත්‍රපට දෙකින්ම මේ දිනවල කලඑළි බැස සිටින්නීය.  'මෝඩ තරිඳු' චිත්‍රපටයේ එන දිනූගේ චරිතය හාස්‍යය කැටිවූ කපටි පෙම්වතියකගේ ස්වභාවය ගත්තත්, එය කර්මය සහ සංසාර චක්‍රය ගැන ගැඹුරු පණිවිඩයක් ලබා දෙන බව ශනුද්‍රි පවසනවා. ඊට හාත්පසින්ම වෙනස් වූ 'නීරා' චිත්‍රපටයේ ප්‍රනීතිගේ චරිතය තමාට ලැබුණු අභියෝගාත්මකම රංගනයක් බව ඇය සඳහන් කරනවා. 


 සමාජ මාධ්‍ය හරහා එල්ල වන විවේචන සහ මඩ ප්‍රහාර හමුවේ අතීතයේදී කම්පනයට පත් වුවත්, වර්තමානය වන විට එය දරා ගැනීමේ හැකියාව ඇතැයි ඇය පවසන්නීය.
මෙම කරුණු සඳහන් කරමින් දිවයින ඔන්ලයින් නාලිකාව සමග ඇය පැවැත්වූ සාකච්ඡාව මෙසේය.

නිවේදකයා: ආයුබෝවන්! අද මම කතා කරන්නේ මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් එක්ක. මොකද එයාගේ චිත්‍රපටි දෙකක් මේ දවස්වල බොහොම සාර්ථකව තිරගත වෙනවා. කෙටියෙන්ම හැඳින්නුවොත් මේ ප්‍රියසාද් පවුලේ බාලම දෝණි. ශනුද්‍රි ප්‍රියසාද්, ආයුබෝවන්!

ශනුද්‍රි: ආයුබෝවන්! ආයුබෝවන්!

නිවේදකයා: ඉතින් කොහොමද? මේ දවස්වල ගොඩක් සතුටින් ඇති කියලා හිතනවා සහ බොහොම වෙහෙසකර කාලයක් කියලත් හිතනවා.

ශනුද්‍රි: ඔව්, ඇත්තටම කාලෙකට පස්සේ ටිකක් මහන්සි වෙනවා මේ ටිකේ. මොකද චිත්‍රපටි දෙකක් එකපාර තිරගත වෙනවා. ඉතින් ඔව්, හරිම සතුටින් කාලය ගත කරනවා. මොකද ඉතාමත් හොඳ ප්‍රතිචාර එක්ක තමයි චිත්‍රපටි දෙකම තිරගත වෙන්නේ. ඉතින් හරිම සතුටින් ඉන්නවා.

නිවේදකයා: මේ චිත්‍රපටි දෙක ධාරාවන් දෙකක නිර්මාණ නේද? ඒ කියන්නේ දැන් 'මෝඩ තරිඳු' මල්ලි ටික හුවා දක්වන, වෙනම පිස්සුවක් තියෙන එකක්. 'නීරා' වෙනම ප්‍රේක්ෂක පිරිසකට ආමන්ත්‍රණය කරන චිත්‍රපටයක්. කොහොමද මේ ශනුද්‍රිට ඒ දෙක ගැන දැනෙන්නේ?

ශනුද්‍රි: ඔව්, මට අවස්ථාවක් ලැබෙනවා එකපාර ශානර (Genre) දෙකක චිත්‍රපටි දෙකකට දායක වෙන්න. මම හිතන්නේ 'මෝඩ තරිඳු' කියන්නේ Dark Comedy කියන කැටගරි එකේ තියෙන චිත්‍රපටියක්. එතකොට 'නීරා' වැටෙන්නේ ආදර කතාවක් (Love Story) කියන එකට. නමුත් Love story එකකට එහා ගිය ටිකක් ගැඹුරු කතාවක් ඒක.

ඉතින් මම හිතන්නේ මේ දෙකටම ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. දෙකම, ඒ කියන්නේ අද මේක බලලා හෙට මේක බලන පිරිසක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ එකපාර මේ වගේ චිත්‍රපටි දෙකේම චරිතත් මම කරන්නේ දෙවිදියකට. ඉතින් හරිම වාසනාවක් ඒ වගේ එකපාර දෙවිදියකට ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නිවේදකයා: අපි දැන් මුලින්ම ගමුකෝ, මේ දවස්වල ගොඩාක් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙන්නේ 'මෝඩ තරිඳු' චිත්‍රපටයටනේ. ඒක බැලූ බැල්මට ප්‍රහසනයක්, අපිට හිනා වෙන්න තියෙන චිත්‍රපටයක්. නමුත් ඒක ඇතුලේ වෙන කතාවක් තියෙනවා. ශනුද්‍රිට කොහොමද මේ චිත්‍රපටය තේරුනේ?

ශනුද්‍රි: ඔව්, මම ඉතින් කොහොමත් මුලින් ඉදන්ම ඒක දැනගෙන හිටියා. මට චිත්‍රපටය ලැබෙනකොටම මම කතාව ගැන දැනගෙන හිටියා. නමුත් නරඹද්දී, බැලූ බැල්මට චිත්‍රපටිය ආරම්භ වෙලා අවසානය වෙනකන් හිනා වුනා. හැබැයි ඒකෙත් ජීවිතයට ගන්න දෙයක්, "තමන් කරන දේවල් තමන්ට ආපස්සට එනවා" කියන අර්ථය දෙන කතාවක් තියෙනවා.

ඉතින් මම හිතන්නේ මම ප්‍රේක්ෂකයෙක් විදිහට බැලුවොත්, 2024 අවුරුද්දේ විනෝදාත්මකම චිත්‍රපටිය තමයි 'මෝඩ තරිඳු' කියන්නේ. ඉතින් ඒ වගේ චිත්‍රපටයක 'දිනූ' කියන චරිතයෙන් එන්න ලැබීම ලොකු දෙයක්. මොකද මිනිස්සු අතරට ඒ චරිතයත්, අනිත් චරිත එනම් මේ කතාවේම තියෙන හැම චරිතයක්ම මිනිස්සු අතරට හොඳටම ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකයෙක් විදිහට බැලුවොත් 'මෝඩ තරිඳු' චිත්‍රපටයේ කොච්චර හිනා වුනත් ඔය 'සංසාර චක්‍රය' කියන එක, ඒක එනවා, ඒක තියෙනවා කියන එක දැනගන්න ලැබෙන චිත්‍රපටියක්.

නිවේදකයා: නිකන් පොඩි බයක් වගේ හිතුනාද?

ශනුද්‍රි: බයක් කියන්නේ, ඔව් මට ගොඩාක් මිනිස්සු කියනවා "හොඳ වැඩේ ඔයාට, කරපු ඒවට හොඳ වැඩේ ඔයාට වෙලා තියෙන්නේ. ඔව් කැරකෙනවා රවුම්" කියලා කියනවා. බයක් තියෙනවා කියන්නේ ඉතින් බයෙන් ඉන්න ඕනේ අපි වැරැද්දක් කරනවා නම්නේ. ඉතින් එහෙම වැරැද්දක් නම් තාම කරන්නේ නැහැ. එතකොට බය නැහැ. දැනට මේ යන විදිහට ඒක කැරකෙන විදිහ හොඳයි.

නිවේදකයා: ශනුද්‍රි, දැන් ඔයා 'නීරා' චිත්‍රපටියේ ටිකක් වෙනස්ම චරිතයක් කරනවා. ඒ කියන්නේ ටිකක් ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන, ඒවට උත්තර හොයන චරිතයක්. සමහරක් අයට ඒ උත්තර හරි අමාරුයි, අමාරුවෙන් ගන්න උත්තර තියෙන්නේ. ඒ වගේ චරිතයක්. ඒ අත්දැකීම ඔයාට කොහොමද?

ශනුද්‍රි: නීරා චිත්‍රපටිය තමයි මම හිතන්නේ මට විශේෂම චිත්‍රපටිය. මට නීරා චිත්‍රපටියට සම්බන්ධ වෙන්න වාසව බදුගෙ අයියාගේ ආරාධනාව ලැබුනා. මම තිර පිටපත ඒ වෙද්දී කියවලා තිබුනේ නැහැ. නමුත් වාසව අයියාට තිබුන රෙස්පෙක්ට් (Respect) එකට මම ඒ වැඩේට "හා" කිව්වා. ඊට පස්සේ තමයි මට දැනගන්න ලැබෙන්නේ මේ පිටපත ලියන්නේ සුමිත්‍රා රාහුබද්ද මහත්මිය කියලා.

ඉතින් ඇත්තටම තිර පිටපත ලැබිලා ඒක අතට අරගෙන ඒක කියවන්න ගත්තම, මම වාසව අයියාට කිව්වා "මට අමාරුයි, මට බයයි මේ චරිතය කරන්න, මට බෑ" කියලා. නමුත් ඔහු මාව ගොඩාක් විශ්වාස කරා. එයා කිව්වෙම මට මේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. අනිත් එක මට බය හිතුනු තව කාරණාවක් තමයි, සුමිත්‍රා රාහුබද්ද මහත්මිය කියන්නේ ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉන්න කෙනෙක්. ඉතින් ඇය ලියන ඒවා, ඇය ඇගේ හදවත සහ ආත්මය (Heart and Soul) දෙකම දාලා තමයි ලියන්නේ, ඒ චරිතවලට පණ දෙන්නේ. ඉතින් එයා එච්චර පරිස්සමෙන් ලිව්ව චරිතයක් මට පුළුවන්ද කියන බය මට තිබුණා. මම දන්නේ නැහැ සමහරවිට සුමිත්‍රා ආන්ටිත් ඒක එහෙම හිතුවද දන්නේ නැහැ, මට පුළුවන්ද බැරි වෙයිද කියලා.

හැබැයි මම මෙතෙක් කරපු අභියෝගාත්මකම (Challenging) චරිතය තමයි 'ප්‍රනීති'ගේ චරිතය. ඒක ඇතුලේ මම ඇත්ත ජීවිතයේ නොවිඳපු හැම එකම වගේ තිබුණා. ඒ කියන්නේ 'ෙතම්පරාදුව' කියන එක ඇරෙන්න අනිත් කිසිම දෙයක් මට ජීවිතයේ නැහැ. ඒ කතාව ඇතුලේ මම විඳලා තිබුණේ නැති දේවල්, ඒ කියන්නේ බිරිඳක්, මවක්, ඊට පස්සේ එතනින් එහාට දික්කසාද වෙච්ච කෙනෙක්... ඒ ඔක්කොම ටික මට ඒ චරිතය ඇතුලේ කරන්න තිබුණා.

ඉතින් මේ වෙනකොට මිනිස්සුන්ගෙන්, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක මම හිතනවා ඒ චරිතයට මම සාධාරණයක් කරන්න ඇති කියලා. මොකද චිත්‍රපටය අපි පළවෙනි පාර නැරඹුවට පස්සෙත් සුමිත්‍රා මහත්මිය මාව ළඟට කතා කරලා, ළඟට ගෙනල්ලා එයා මගේ එක්ක කතා කරා. එයා මට කිව්වා එයා කොච්චර සතුටු වුණාද චිත්‍රපටිය නරඹලා මගේ රංගනය දැකලා කියලා. ඉතින් මම හිතන්නේ ඒක මට තිබුණු අසීරුම චරිතයක්. හැබැයි මම හරීම ආදරය කරන චරිතයක් තමයි ප්‍රනීති කියන්නේ.

නිවේදකයා: සාමාන්‍යයෙන් ශනුද්‍රි ටිකක් වේගයෙන් කතා කරන, හිනා වෙන සහ සතුටින් ඉන්න කෙනෙක් නේද? අපි ඔයාව සමාජ මාධ්‍යයේ දැක්කත්, ඔයාව සාමාන්‍යයෙන් එළියේදී දැක්කත් අපි ඔයාව දකින්නේ බොහොම විනෝදයෙන් ඉන්න කෙනෙක් විදියට. දැන් නීරා චිත්‍රපටයේ තියෙන්නේ ඊට හාස්‍යපත්ව වෙනස් දෙයක් නේද?

ශනුද්‍රි: ඔව්.

නිවේදකයා: දැන් එතනදි ඔයා කතා කරන දේ වුනත් වෙන සංයමයකින්, වෙන ප්‍රකාශනයක්, වෙන දෙයක් එළියට එන්නේ. එතකොට කොහොමද, දැන් 'මෝඩ තරිඳු' ගත්තොත් එහෙම ඒකේ ඔයාගේම වයසේ කට්ටියක් ඉන්නේ.

ශනුද්‍රි: ඔව්. මෝඩ තරිඳු චිත්‍රපටයට ආරාධනා ලැබෙනකොටත් ඒකත් හරිම ස්ක්‍රිප්ට් එක මේක කියලා තිබුනේ නැහැ. එතනත් තිසර (ඉඹුලාන) අයියාගේ ආරාධනාව මත තමයි මම මෝඩ තරිඳු චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකෙදි මට කලින් කිව්වා වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් චරිතය තමයි ලැබුනේ. නමුත් අපි කොච්චර හිතුවත්, ඒ කියන්නේ ඒක පොඩි චරිතයක්, ඒක ඔහේ කරන්න පුළුවන් කියලා හිතුවත්, මම හිතන්නේ එතනට ගියාට පස්සේ ඒ 'දිනූ' කියන කෙනාව මම මගේ ඇතුලෙන් එළියට ගන්නම ඕනේ. ඒ කියන්නේ මම ශනුද්‍රිම වෙලා හරියන්නේ නැහැ එතන.

ඉතින් ඒකත් පහසු වුණා. මොකද තිසර අයියා කියන්නේ වැඩ කරන්න හරිම ලේසි කෙනෙක්. එයා ආටිස්ට්ලට හොඳ නිදහසක් (Freedom) දීලා තියෙනවා රඟපාන්න. ඒ නිදහස දීලා තියෙනවා වැඩ කරන්න. ඉතින් අර දිනූ කියන චරිතය සාමාන්‍ය ගෑනු ළමයෙක්, ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ චරිතයක් වුනත් මම හිතන්නේ එතන ටිකක් ඩොමිනේටින් ආදරවන්තියක් නේ, පොඩ්ඩක් කපටි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ චරිතයක් මට කරන්න තිබුනේ. ඉතින් මම හිතන්නේ එතන ඒ කාස්ට් එකේ (Cast) සපෝට් එක, විශේෂයෙන්ම කෞශල්‍ය, සූරිය අයියා, දනුක අයියා, ඒ වගේම ශෙහානි... මේ කට්ටියගෙම එකතුවෙන් තමයි දිනූ කියන චරිතයට මම පණ දෙන්නේ. ඉතින් අර සාමාන්‍ය එදිනෙදා ජීවිතය හා සමානයි, නමුත් ඒකත් ඉතින් මට එක තැනකින් එහාට වෙනස් කරන්න සිද්ධ වුණා ඒ චරිතය ඇතුලේ. හැබැයි නීරා චිත්‍රපටිය ගත්තොත් හාත්පසින්ම වෙනස්. ඒක අර කලින් කිව්වා වගේ මම නෙමෙයි එතන ඉන්නේ. සාමාන්‍ය කෙනා නෙවෙයි. ටිකක් පරිණත (Mature), ටිකක් ජීවිතේ දරාගන්න පුළුවන් චරිතයක්. ඉතින් ඒ වගේ තමයි චරිත දෙක.

නිවේදකයා: දෙවෙනි අක්කත් එක්ක (ශේෂාද්‍රි) අපි ඉන්ටර්ව් එකක් කලාම, එයා කිව්වා... දැන් මෙහෙමනේ, "ඵල ඇති රුකටනේ ගල් ගහනවා" කියනවා වගේ, දැන් ඕගොල්ලෝ ඇත්තටම කැපී පේනවනේ. ඕගොල්ලෝ වෙනම ගමනක් යනවා. දැන් දිනක්ෂි ගැන එහෙම කතා කළ යුතු සෑහෙන දේවල් තියෙනවා. එතකොට ශේෂාද්‍රි මට කිව්වා, දැන් එයාට තියෙන මේ ප්‍රේක්ෂකයෝ ගැන කතා කරනකොට, "මම කැමති නැහැ මේ පොඩි නංගිටයි, අක්කටයි කවුරුහරි බනිනවා නම්" කියලා.

ශනුද්‍රි: ආ හා හා... ඔව් ඒක ඇත්තටම මම ඉස්සර ගොඩක් හිතුවා. නමුත් දැන් මම ඒකට හුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර තැන්වලදී අපි කොච්චර හොඳින් හිටියත්, අපි කොච්චර අපේ ගමන කාටවත් කරදරයක් නොකර ගියත්, මම හිතන්නේ ඒකටත් අකමැති පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මම කියන්නේ නැහැ මේ මුළු ලෝකෙම මට කැමති වෙන්න ඕනේ කියලා කවදාවත්. ඒක සාපේක්ෂයි නේ. සමහර අය මට කැමතියි, සමහර අය අකමැතියි. මම හිතන්නේ ඒ දෙකම මම බාර ගන්නවා.

ඉස්සර සමහරක් තැන් තිබුණා මට දුක හිතුනා, මට කේන්ති ගිය අවස්ථා තිබුනා, මම ඇඬපු අවස්ථා තියෙනවා "මිනිස්සු ඇයි මට මෙහෙම බනින්නේ?" කියලා. නමුත් මම හිතන්නේ කාලයත් එක්ක මමම තේරුම් ගත්තා. මට මගේ පසුබිමෙන් ලැබුන සපෝට් එකත් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තමයි, අපි කොච්චර කරත් අකමැති නම් එයා අපිට අකමැතියි තමයි. ඒ අයව වෙනස් කරන්න ඕනෙත් නැහැ, ඒ අයව අපේ ගමනට බාධාවක් කරගන්න ඕනෙත් නැහැ කියලා මම තේරුම් අරගෙන ඉන්නේ දැන්.

මොකද මම විශ්වාස කරනවා මට ඇත්තටම ආදරය කරන පිරිසක් ඉන්නවා නම් ඒ අය කොහොමත් මගේත් එක්ක ඉන්නවා. මම කරන වැඩට සපෝට් කරනවා. මම දන්නවා ඇත්තටම මෙහෙම පිරිසක් ඉන්නවා කියලා මට තේරෙනවා. මොකද මම කරන කියන දේවල් බලන් ඉන්න, ඒකට සපෝට් කරන, හොඳ නරක දෙකම කියන පිරිසක් ඉන්නවා. ඉතින් සමහර අය ආදරෙටත් නරක කියන අය ඉන්නවා. ඒ කියන්නේ "මේක හරි නැහැ, අරක කරන්න තිබ්බා, මෙහෙම කරේ අපරාධයක්" කියලා කියන ප්‍රේක්ෂකයොත් මට ඉන්නවා.

ඉතින් මම හැමවෙලේම හිතන්නේ මට අකමැති පිරිසක් හිටියට කමක් නැහැ. මම ඒ අයටත් ගරු කරනවා. මොකද ඒ අයගේ තීරණය ඒක (Decision). හැබැයි මම ගොඩක් වෙලාවට ෆෝකස් කරන්නේ හොඳ පැත්ත. ඒක මම කාලයත් එක්ක පුරුදු වෙච්ච දෙයක්. මම හරි ආසයි දේවල් දිහා පොසිටිව් විදිහට බලන්න. ඉතින් එහෙම බලලා තමයි ඉන්නේ. අනිත් එක කොහොමත් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා නම්, ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා නම්, ඔය දෙකම දරාගන්න පුළුවන් වෙන තැනට ඔලුව හදාගන්නත් ඕනේ. එහෙම නැතුව හරි නම් මේ වගේ ගමනක් යන්න අමාරුයි. දෙකම බාර ගන්න පුළුවන් මානසික මට්ටමක් තියෙන්න ඕනේ.

නිවේදකයා: ශනුද්‍රි, ඒ කියන්නේ එවැනි කතා හින්දා මුල් කාලේ බොහෝ වැටිච්ච අවස්ථා තිබුනා?

ශනුද්‍රි: අනේ ඔව්, මම ඇත්තටම කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් මිනිස්සු අතර ඉන්න කෙනෙක් නේ. මම අවුරුදු තුන හමාරෙන් තමයි රඟපාන්න පටන් ගත්තේ. ඉතින් මම පොඩි දරුවෙක් කාලේ ඉඳන් රංගනයේ සහ මිනිස්සු අතර ඉන්නවා. ඉතින් අවස්ථා තිබිලා තියෙනවා, මම හිතාගෙන හිටියත් "මට බනින පිරිසක් ඉන්නවා" කියලා. ඒ කියන්නේ මම හිනා වුනත් ඒකටත් "අයියෝ මෙයා හිනා වෙනවා, අරකයි මේකයි" කියලා කියන පිරිසක් ඉන්නවා.

ඉතින් ඒ කාලේදී මට ඒක දරාගන්න අමාරු වුනා. එකක් මම පොඩි ළමයෙක්, අනික මම තරුණ ළමයෙක්, මට අලුත් ඒ දේවල්. ඒකත් එක්ක මම හරියටම වැටුන අවස්ථා තියෙනවා. අම්මෝ ඕන තරම් තියෙනවා. අපි අක්කිලාගෙන් එහෙම අහලා මම 'ගිව් අප්' (Give up) කරන්න ගිය අවස්ථා තියෙනවා. ඒ කියන්නේ "මම රඟපාන එක නවත්තන්නද? මම මිනිස්සු අතරට එන්නැතුව ඉන්නද?" කියලා හිතුන අවස්ථා ගොඩාක් මට තිබිලා තියෙනවා.

ඉතින් මම හිතන්නේ මම මගේ ගමන ලස්සනට කරගෙන යනවා. කාටවත් බාධාවක් නැතුව මගේත් එක්ක ඉන්න පිරිස, මට ආදරය කරන අය ඉඳියි. ආදරේ නොකරන අය... ඒක මට ඇත්තටම දැන් අදාල නැහැ. ඒක මම දැන් මොකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ අදටත් මගේ පෝස්ට්වලට ඉඳලා හිටලා ෆේස්බුක් එකේ කමෙන්ට් එකක් එහෙම වැටෙනවා, "මෙයා මට පේන්න බෑ" හරි මොනවා හරි කියනවා. ඉතින් මම ඒකට ඉන්න දෙනවා. මම ඒක ඩිලීට් කරන්නෙත් නැති තරම්.

නිවේදකයා: මේ ජනප්‍රියතාවය කියන එක ඔයා කොහොමද තේරුම් අරන් තියෙන්නේ?

ශනුද්‍රි: ජනප්‍රියත්වය කියන දේ අද තියෙන්න පුළුවන්, හෙට නැති වෙන්න පුළුවන්. මාව ගත්තොත් මම හිතන්නේ... ජනප්‍රිය වෙන එක වෙනයි, ප්‍රසිද්ධ වෙනවා කියන එක වෙනයි. ඒක අපේ අතර ප්‍රසිද්ධ අය ඉන්නවා ඕන තරම්. නමුත් ඇත්තටම අපිට 'ප්‍රිය' කරනවද නැද්ද කියන එක තමයි අපි බලන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මට නම් ඉන්නේ ඇත්තටම මට 'ප්‍රිය කරන' පිරිසක්. සහ ඒ අයව මම තියාගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ මට ආදරය කරන අය ඉන්න පුළුවන්. නමුත් ඒ ආදරය මම රඳවගන්න දැනගන්නත් ඕනේ.

නිවේදකයා: එක එක කතන්දර තියෙනවානේ, බනින කට්ටියත් ඉන්නවා. ආදරේ කට්ටිය නෙමෙයි, එයාට බනින්නම සමාජයේ පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ බනින්නමයි. හැබැයි දිනක්ෂි මාර උත්තරයක් දුන්නා ඒ හැම එකටම. එයා වචනයෙන් නෙමෙයි උත්තර දුන්නේ. මේ අවුරුද්දේ ආව ඩ්‍රාමා ටික බැලුවොත් එහෙම, දිනක්ෂි නිහඬවම මාර උත්තර දුන්නා. මොකක්ද හිතෙන්නේ ඔයාගේ ලොකු අක්කා ගැන සහ එයාගේ රංගන හැකියාව ගැන? මේ දවස් වල විකාශය වන නිර්මාණ ගැන?

ශනුද්‍රි: ඔව්, මම ඇත්තටම ආඩම්බරම වෙන්නේ ලොකු අක්කා ගැන. එයාව මම දකින්නේ... ඇත්තටම අපේ පවුලේ අපි දෙන්නානේ, අක්කලා දෙන්නා සහ මම. ශේෂාද්‍රී සහ මමයි දකින්නේ අක්කාව පොඩි කාලේ ඉඳන්. එයා පොඩි කාලේ ඉඳන් එයාව හදාගෙන ආපු විදිය දැකලා, එයා මේ වෙනකොට ඉන්න තැන දැක්කම මාරම ආඩම්බරයක් ඇති වෙනවා. මට හරිම සතුටුයි. දැන් ඔයා වුනත් අක්කා ගැන මෙහෙම කියද්දී මට හරි සතුටුයි. ඒක මට යන යන තැන අහන්න ලැබෙන දෙයක්.

ලොකු අක්කා කියන්නේ හරිම උත්සාහවන්ත කෙනෙක්. දරාගන්න හොඳටම පුළුවන් කෙනෙක්. එයාට මිනිස්සුන්ගෙන් ඇහිච්ච දේවල්, මිනිස්සු කියන දේවල් එයා ඔලුවට දාගත්තා නම් මම හිතන්නේ මේ වෙනකොට එයා ඉන්නෙත් නැති වෙන්න පුළුවන්. එච්චරට එයාව වට්ටන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. හැබැයි එයා හැමදේටම ඉවසීම කියන දේ මුල් කර ගත්තා. එයා හරිම නිහඬව එයාගේ ගමන හිමින් හිමින් ගිය කෙනෙක්. කිසිම කෙනෙක්ගෙත් එක්ක තරඟයක් තියෙනවා දැකපු කෙනෙක් නෙමෙයි අපේ අක්කා.

රඟපෑම පැත්තකින් තිබ්බොත් එයා මිනිස්සුත් එක්ක හරිම හොඳයි. එයාව හඳුනා ගත්තොත්, එයාට පුළුවන් ඕන දෙයක් ඔයා වෙනුවෙන් එයා කරනවා. ෂූටින් සෙට් එකකට ගියත්, දැන් එයා වැඩ කරපු සෙට් එකට මම ගියොත් "අම්මෝ ඔයාගේ අක්කා අපිට කෑම දෙනවා, එයා එක එක ඒවා අරන් එනවා, හරි හොඳයි" කියලා අක්කා ගැන හරියට මිනිස්සු වර්ණනා කරනවා.

ඉතින් මම හිතන්නේ ඒක පැත්තකින් තියලා එයාගේ රංගනය පැත්ත ගැන කතා කළොත්, එයා දැන් ඉන්න මට්ටම හිතාගන්නත් බැරි තරම්. එයා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා මේ ටික කාලයක් ඇතුළත. මම හිතන්නේ ඒකට ලොකු හේතුවක් වෙන්නත් ඇති අපේ සාරංග අයියත්. ඒ දෙන්නාගේ එකතුව හරිම ෂෝක්. මම හැමවෙලේම කියන්නේ ඒ දෙන්නා 'Power Couple' එකක් කියලා. ඒ දෙන්නට එකතු වුනාම කරන්න බැරි දෙයක් නැති තරම්. සහ ඒ දෙන්නට දෙන්නගෙන් ලැබෙන සහයෝගයත් එක්ක මම හිතන්නේ ලොකු අක්කා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. හරිම ආඩම්බරයි.

එයා හොඳට දන්නවා එයා කරන්න ඕනේ මොකක්ද කියලා. ඒ කියන්නේ අනිත් කාරණාව තමයි එයා පෞද්ගලික ජීවිතය, බබාගේ දේවල්, අයියාගේ දේවල් හොඳට ලස්සනට බැලන්ස් කරගෙන තමයි එයාගේ කරියර් එකත් එයා ගෙනියන්නේ. ඉතින් ඒ දෙක, පවුලේ ඉන්න කෙනෙක් විදියට මම තමයි ඒක දකින්නේ. පිටින් බලන කෙනෙක් හිතන්න පුළුවන් "අයියෝ මේ රඟපානවා විතරයි, පවුලක් බලන්නේ නැද්ද?" කියලා. නමුත් මම හොඳටම දකිනවා එයාගේ බබා වෙනුවෙන් හැමදේම කරලා තමයි රංගනයට කාලය දෙන්නේ. එයා මම දන්නවා අපේ අම්මා තාත්තා වෙනුවෙන් එයා කරන දේවල්. එයා ලොකු ගමනක් ආපු කෙනෙක්. මම දන්නවා එයාට තව ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්. එයා හරිම ටැලන්ටඩ්, හරිම නිහතමානී. නිළියක් විදිහට ගත්තොත් මම හිතන්නේ දැන් තමයි එයාගේ හොඳම කාලය ඇවිල්ලා තියෙන්නේ.

නිවේදකයා: දැන් ඔයා කිව්වා අක්කා අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරපු කෙනෙක් කියලා. ඒ එක්කම ඔයා කිව්වා එයා හරි උත්සාහවත්ව මේ ජීවිතය ගොඩනගාගත්තා කියලා. මට අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.

ශනුද්‍රි: ඔව්, ඇත්තටම අපි පොඩි කාලේ ඉඳන්... අපේ තාත්ති ෆිල්ම් ඩිරෙක්ටර් නේ. ඉතින් අපි හරිම සාමාන්‍ය පවුලක්. ලංකාවම දන්නවා. නමුත් ගොඩාක් වෙලාවට මිනිස්සු හිතන්න පුළුවන් "අම්මෝ හරි ලොකු මිනිස්සු, ගොඩාක් සල්ලි තියෙනවා" කියලා. නමුත් අපි හරිම සාමාන්‍ය විදිහට, අපි පොඩි කාලේ ඉඳන් කුලී ගෙවල්වල ඉඳලා තියෙන්නේ. ඒක ගැටලුවක් නෑ. නමුත් අපේ අම්මයි තාත්තයි අපි වෙනුවෙන් හැමදේම කරපු දෙන්නෙක්.

අපේ ප්‍රියසාද් මහත්තයා (තාත්තා) චිත්‍රපට විශාල ප්‍රමාණයක් කරාට, එයා හරිම හිත හොඳ මනුස්සයෙක්. එයාට ජෙනරේෂන් භේදයක් නෑ. පොඩි කොල්ලෙක් සෙට් වුනොත් කියව කියව ඉන්න තමයි ආස. ඉතින් මම හිතන්නේ සමහර තැන් වලදී අපේ තාත්තට වඩා බරපතලකම, මේ පවුල ඇතුලේ දේවල් ලොකු අක්කට තේරිච්ච අවස්ථා තියෙනවා. ඉතින් අක්කා ගැන මම ඒ වෙලාවේ අරම කිව්වේ... මම හිතන්නේ එක වැඩසටහනක අපේ දෙවෙනි අක්කත් මේ කතාව කියලා තිබුණා. එක තැනකින් එහාට අපේ පවුලේ බර ඔක්කොම ගත්තේ ලොකු අක්කා. ඒ කියන්නේ දිනක්ෂි. සමහර තැන් වලදී අපේ වියදම් පවා එයා තමයි ඔක්කොම කරේ.

ඉතින් ඒකට මම හරිම කෘතඥ වෙනවා (Grateful). මම හැමදාම එයා වෙනුවෙන් දේවල් කියද්දි වුනත්, මට හරිම රෙස්පෙක්ට් එකක් තියෙන්නේ. එයා අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කරලා තියෙනවා.

නිවේදකයා: එතකොට දිනක්ෂිගේ වයස කීයක් විතරද?

ශනුද්‍රි: මෙහෙමනේ, ඒගොල්ලොත් පොඩි කාලේ ඉඳන්ම නිවේදනය, ටීවී ප්‍රෝග්‍රෑම්ස් එහෙම කරා. ඉතින් අපිට මතක ඇති කාලෙක ඉඳන්ම අපි චුට්ට චුට්ට හම්බ කරන එක පොඩි කාලේ ඉඳන් කරා. සහ ඉතුරු කළා. ඉතුරු කරලා ඒකට ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම දෙන්න ඕනේ අපේ අම්මට. මොකද අපි පොඩි කාලේ ඉඳන් හම්බවෙන හැම මුදලක්ම අම්මගේ අතට දෙන්නේ. ඉතින් එයා තමයි ඒක ලස්සනට අපේ බැංකු ගිණුමකට හරි, අපි වෙනුවෙන් කැටේකට හරි දාන්නේ. ඉතින් අපිට තේරුම් ඇති වයසක් එනකම් ඉතුරු කරන කොටස කරේ එයා.

ඉතින් ලොකු අක්කා ඒ පවුලේ බර ඔක්කොම අතට අරගෙන එයා තනියෙන් ගේම ගැහුවේ. අපි අපේ පළවෙනි ගෙදරට ගියත්, ලොකු අක්කා තමයි ඒ ගෙදර ගත්තේ. ඔව්, දැන් ඉන්න ගෙදර. ඒක අපේ අක්කි තමයි අම්මයි තාත්තයි වෙනුවෙන් ගත්තේ. ඉතින් ඒ ගෙදර වුනත් අපේ අක්කි එයාගේ මහන්සියෙන් හම්බ කරපු දේවල් වලින් ගත්ත එකක්. ඉතින් ඒකයි මම හිතන්නේ මේ වෙනකොට එයාට වරදින්නේ නැතුව, එයා ජීවිතයෙන් හොඳටම ඇවිල්ලා තියෙන්නේ එයා අම්මා තාත්තා වෙනුවෙන් කරපු දේවල් නිසාමයි.

නිවේදකයා: මම හිතන්නේ දිනක්ෂිගේ ඔය කතාව ගොඩක් අය දන්නේ නැහැ. මම අර කිව්වේ, දැන් ඔයාගේ දෙවෙනි අක්කත් එක්ක දවසක් අපි ඉන්ටර්ව් එකක් කරලා එදා කිව්වා, "නැහැ අපිට වඩා එයා (ශනුද්‍රි) හරි ටැලන්ටඩ්. එයා අපිට වඩා ලෝකේ දකිනවා. එයා අපිට වඩා එයාට අත්දැකීම් තියෙනවා ජීවිතයේ යන්න ඕනේ කොහොමද" කියලා. ඔය කතාවම අනිත් පැත්තට ඔයා ගැන අක්කා කිව්වා.

ශනුද්‍රි: අනේ... ඒක මෙහෙමත් කිව්වා. දැන් අක්කලා දෙන්නගේ ගැප් එක අඩුයි, මගේ අවුරුදු හයක් හතක් ගැප් එකක් තියෙනවා. ඉතින් එතකොට අර දෙන්නා තමයි එකතු. හැබැයි දැන් හරිම සතුටුයි, අපි තුන් දෙනාම හරිම එකතුයි. ඒක වයසකට ආවට පස්සේ අපි තුන් දෙනාගේ දේවල් අපි තුන් දෙනාම බෙදා ගන්නවා. ඉතින් ශේෂාද්‍රි අක්කි මං ගැන තමන් ටැලන්ටඩ්, මම දේවල් දකින විදිය ගැන කියන්න හේතුව... මම හිතන්නේ ඒගොල්ලොන්ගේ ජීවිතවලිනුත් මම ගත්ත දේවල් තියෙනවා. ඒගොල්ලොන්ගේ ලයිෆ් එකේ experience එක. ඒ කියන්නේ අපේ අම්මා, තාත්තා, අක්කලා දෙන්නගෙන් තමයි මම ජීවිතයට දේවල් ගන්නේ. මට පිටින් 'රෝල් මොඩල්' (Role Model) එකක් කියලා ඉන්නේ ගෙදර කට්ටියම තමයි. ඉතින් දැන් මම මොනවා හරි දෙයක් ඉදිරියට දැකලා, මම හොඳ තීරණයක් ගන්නවා නම්, ඒකට මම හිතන්නේ අක්කලාගේ ලයිෆ් එකෙන් මම ගත්තු දේවල් බලපානවා.

නිවේදකයා: දැන් ඔය ප්‍රියසාද් පවුල ඔක්කොම එකට එකතු වුනාම, ගෙදර මොන වගේ වයිබ් (Vibe) එකක්ද තියෙන්නේ?

ශනුද්‍රි: අම්මෝ අපේ ගෙදර එතකොට 'ප්‍රිය සාදයක්'ම තමයි. ගෙදර ප්‍රිය සාදයක් කරනවා ඒ වෙලාවට. ඒ කියන්නේ අපි හරි එකතුයි. අපේ ගෙදර පස් දෙනා, දැන් ඉස්සර නම් පස් දෙනාම තමයි. දැන් අට දෙනෙක් ඉන්නවා නේ ගෙදර. අට දෙනාට අමතරව තව බබාලා දෙන්නෙක් ඉන්නවා. දැන් මේක එන්න එන්න ලොකු වෙනවා, විශාල පවුලක්.

ඔව්, ඒක හරිම... මම හිතන්නේ මගේ මට ජීවිතයේ තියෙන හොඳම ලොකුම දේ තමයි ඒ පවුල කියන දේ. මගේ අක්කලා දෙන්නා, අම්මා, තාත්තා, මගේ අයියලා, බබාලා... මේ ඔක්කොම එකතු වුනාම තමයි අපි ගොඩක් ස්ට්‍රෝන්ග් (Strong) වෙන්නේ. ඉතින් ජීවිතයේ තීරණ (Decisions) පවා අපි ගද්දි අපි කට්ටියම එකතු වෙනවා. ඒක හරිම වටිනා දෙයක්. ඒක ගොඩාක් දෙනෙක්ට නැති දෙයක් කියලා මම හිතනවා. ඒ කියන්නේ පවුලම එකට එකතු වෙන එක. ගොඩාක් තැන්වලදී අපි දකිනවනේ සහෝදරයෝත් එක්කෝ තරහ වෙනවා, දෙමව්පියොත් එක්ක තරහ වෙනවා. හරි චූටි දේවල් වලට හමාරා ගන්න අවස්ථා තියෙනවා. නමුත් මම හිතන්නේ අපි කට්ටිය එකතු වුනාම ගොඩාක් දේවල් කරන්න පුළුවන්.

අයියලා දෙන්නා... ඒ කියන්නේ මම වුනත් අක්කලා දෙන්නට කියන්න බැරි දේවල් මම මුලින්ම කියන්නේ අයියලා දෙන්නට ගිහිල්ලා. ක්‍රිශාන් අයියට මම ගොඩාක් මගේ පෞද්ගලික දේවල් මම එයාත් එක්ක බෙදා ගන්නවා. එයාගෙන් ඇඩ්වයිස් ගන්නවා. සාරංග අයියගෙන් ගන්නවා. ඉතින් මම හිතන්නේ හරි එකමුතුයි. ඒක හරිම ලොකු බ්ලෙසින් (Blessing) එකක්.

නිවේදකයා: ආටිස්ට්ලා (Artists) ගොඩාක් ඉන්නකොට කොහොමද ඒ අත්දැකීම?

ශනුද්‍රි: අත්දැකීම මරු. නැහැ ඇත්තටම ඒක හරි අහඹු සිදුවීමක්. සහ ඒක හරිම විශේෂ දෙයක්. අම්මත් එතකොට මේ... දැන් අම්මට තමයි අපිට වඩා පුළුවන්. ඒ කියන්නේ සින්දු කියන්න ගියාත්, රඟපාන්න ගියාත්, නටන්න ගියාත්... අපි හැමෝගෙන්ම අදහස් ගන්න පුළුවන්. අපි හැමෝගෙන්ම එකමුතුවක් ඒ වැඩේ ඇතුලේ තියෙන්න පුළුවන්. ඉතින් කලාව කියන්නේ හරි ලස්සන දෙයක්. ඒ දේ අපේ පවුල ඇතුලෙම තියෙන එක හරිම ලොකු දෙයක්, අපිට ගොඩාක් වටින දෙයක්.

නිවේදකයා: මේ තුන් දෙනාගෙන් ටිකක් අම්මට සමාන කෙනා කවුද? පෙනුමෙන් හෝ අදහස් වලින්?

ශනුද්‍රි: ඒක නම් කියන්න බෑ. පෙනුමෙන් නම් ගොඩාක් දෙනෙක් මට කියනවා අම්මා තරුණ කාලේ මං වගේ කියලා. හැබැයි දෙවෙනි අක්කා මට ගොඩක් පේන්නේ තාත්තා වගේ. මට ලොකු අක්කාව පේන්නේ අම්මා වගේ. මට මාව අම්මා වගේ පෙනුමෙන් පේන්නේ නැහැ. නමුත් මම හිතන විදිහට, මට දැනෙන විදිහට එයාගේ ක්‍රියාවන්ම තමයි මගේ තියෙන්නේ.

ඒ කියන්නේ අපේ අම්මා උදේ නැගිටලා ඉඳන් මල් පැලවලට වතුර දානවා. මමත් හරි ආසයි ඒක කරන්න. මල් පැලවලට මම ඉස්සරහා චූටි වත්තක් තියෙනවා, ඒකේ උපරිම ප්‍රයෝජනය අරන් තියෙන්නේ. ඉතින් එයා උදේ නැගිටිනකොට ගෙදර අයට කෑම උයලා හැමදේම තියෙනවා. ඒ කියන්නේ එයා වැඩ කරන විදිය මම කරන වැඩත් එක්ක සමානයි කියලා හිතනවා. හැබැයි ගොඩාක් දෙනෙක් අම්මාගේ පරණ ෆොටෝ, වෙඩින් ෆොටෝ එහෙම බැලුවම කියන්නේ මං වගේ කියලා. හැබැයි ඉතින් අපි තුන්දෙනාටම අම්මා තාත්තාගේ හොඳ ටික ගිහිල්ලා තියෙනවා.

නිවේදකයා: අපි ශේෂාද්‍රි ගැන කතා කළේ නැහැ. කොහොමද ශේෂාද්‍රිත් එක්ක ඔයාගේ තියෙන්නේ ගනුදෙනු? එයා දැන් ආයෙත් රංගනයට ඇවිල්ලා තියෙන්නේ?

ශනුද්‍රි: ඔව්, ශේෂාද්‍රි කාලයක් නිහඬ වෙලා හිටියා. දෙවෙනි අක්කයි මායි තමයි ඔය කොච්චර මරා ගත්තත්, ලොකු අක්කයි මායි මරා ගන්නකොට මැද ඉන්නේ එයා. එයා තමයි විසඳන්නේ. අපි දෙන්නටම උපදෙස් දීලා... ඉතින් අදත් මොනාහරි වෙච්ච ගමන් එයා මට "බෝල්" (Ball) කියලා කියන්නේ. මොනාහරි වෙච්ච ගමන් "බෝල්" කියලා මැසේජ් එකක් දානකොට මම දන්නවා මොකක් හරි කියන්න තමයි හදන්නේ කියලා.

ඉතින් හැමදාම, ඒ කියන්නේ අපි දැන් එක ගෙදරක නොවූනත්, අපි කොයි වෙලාවෙත් මැසේජ් එකක් හරි එවා ගන්නවා. වට්ස්ඇප් එකේ හරි මොකක හරි අපි තුන්දෙනා කතා කර කරම තමයි ඉන්නේ. මොකද දෙවෙනි අක්කා කියන්නේ මම දකින විදිහට තවත් ශක්තිමත් එක්කෙනෙක්. එයා ගොඩාක් දෙනෙක් දන්නවා ඇති, එයාගේ ලයිෆ් එකෙත් එක අවස්ථාවකදී එයා හැමදේම නතර කරලා මුල ඉඳන් ලයිෆ් එක පටන් ගන්න තැනට ආවා. ඉතින් ඒ කාලේ එයා පහු කරපු විදිහ, ඒ කාලෙට එයා මුහුණ දුන්න විදිය ගේ ඇතුල ඉඳගෙන මම දැක්කා. ඉතින් එතකොට මමත් ඉස්කෝලේ යන වයසේ. නමුත් අක්කා කිව්වා වගේ මම දේවල් දිහා දකින්න එයාගේ ලයිෆ් එකෙන් මම ගත්ත දේවල් තියෙනවා. එයා හරිම නිහඬව, හරිම ආගමට ලැදියි, හරිම ටැලන්ටඩ්. ඉතින් මම හිතන්නේ එයා හරිම ලස්සන කාන්තාවක්.

නිවේදකයා: තාත්තා අපේ සිනමාවේ ඉන්න, පරණ ලොකු නමක් දිනා ගත්ත කෙනෙක්. මේ තාත්තාගේ චිත්‍රපට ගැන මොකද හිතෙන්නේ?

ශනුද්‍රි: ඔව්, මම හිතන්නේ අපේ තාත්තා ඇත්තටම මුලින්ම චිත්‍රපට කරපු කාලේ මම චූටි දරුවෙක්. සමහරවිට මම ඉපදිලත් නැහැ එයා සමහර චිත්‍රපට කරනකොට. මම හිතන්නේ අපේ තාත්තා කසාද බැඳලත් නැති කාලේ ඉඳන් එයා චිත්‍රපට කළා. එයාගේ පළවෙනි චිත්‍රපටය 'පෙරලිකාරයෝ'. ඒක කරද්දී එයා අම්මව බැඳලා හිටියෙත් නැහැ.

ඉතින් එයා ඒ කාලේ දැවැන්ත වැඩ කරපු කෙනෙක්. ඒ කියන්නේ එකක් ගත්තොත් එයාගේ 'පෙරලිකාරයෝ' චිත්‍රපටයේ ඉන්නේ කාජල්ගේ අම්මා. ඒ කියන්නේ තනුජා මුකර්ජි. එයා ඒ කාලේ ඉන්දියාවේ ඉන්න දැවැන්ත චරිතයක්. ඉතින් ඒ වගේ කෙනෙක්ව ලංකාවට ගෙනාවා. ලංකාවේ චිත්‍රපටයක්, විජය කුමාරතුංග මහත්මයාත් එක්ක රංගනයේ යෙදෙන්න ඒ වැඩ සැලැස්සුව එකම ලොකු දෙයක්. අදත් එහෙම අපි ගෙන්නන අවස්ථා තියෙනවා. නමුත් ඒ කාලේ හැටියට ඒක විශේෂයි. ඒක මම අහලා තියෙන දේවල්, මට අපේ ගෙදර ඇතුලේ කතා කරන දේවල් වලින් මම දැකලා තියෙනවා ඒක මිනිස්සු අතරට කොච්චර ගියද කියලා.

අනිත් කාරණාව, එයාගේ තව චිත්‍රපටයක් තියෙනවා 'දෙමෝදර පාලම' කියලා. ඒක ඒ කාලේ ස්පෙෂල් ඉෆෙක්ට් (Special Effects) කියන දේ පාවිච්චි කරලා, එයා ඒකෙනුත් ලොකු දෙයක් කරා. දැන් අදටත් මම හිතන්නේ ලංකාවේ ෆිල්ම්වල මම ලොකුවට දකින්නේ නැහැ ඔය හෙලිකොප්ටර්ස්, ට්‍රේන්, කෝච්චි සීන්, ෆයිට්... ඒවා තියෙන ෆිල්ම් මම දැන් තාම ලංකාවේ ලොකුවට දැකලා නැහැ. නමුත් එයා ඒ කාලේ ඒවා, එච්චර දේවල් එයා කරා. ඒ කියන්නේ පුපුරන ඒවද, හෙලිකොප්ටර් පුපුරන ඒවද... ඒ ස්පෙෂල් ඉෆෙක්ට් ඒ ඔක්කොම එයා හරි අපූරුවට කරා. එයාට හොඳ දැනුමක් තියෙනවා ඒ සම්බන්ධව. අදටත් එයා තරුණ අයට උපදෙස් දෙනවා ස්පෙෂල් ඉෆෙක්ට් ගැන.

ඉතින් මම හිතන්නේ එයාගේ ප්‍රියතම ෆිල්ම් වලින් ගත්තොත් මම කැමතිම පෙරලිකාරයෝ, දෙමෝදර පාලම, කොළොම්පූර්. 'කොළොම්පූර්' කියන්නේ ටෙනිසන් කුරේ, එතකොට දිල්හානි ඒකනායක ආන්ටි ඒ චිත්‍රපටය කරා. හොඳටම දුවපු චිත්‍රපටයක්. ඒ කාලේ මට අවුරුද්දයි. මම ගාව පින්තූරෙකුත් තියෙනවා දිල්හානි ආන්ටිත් එක්ක ඉන්න. ඉතින් මම හිතන්නේ අපේ තාත්තා ලොකු දේවල් කරලා තියෙනවා. සමහර විට දැන් තරුණ අයට ඒවා මතක නැතුව ඇති. නමුත් මම හිතන්නේ අපේ තාත්තා ඒ වගේ දැවැන්ත වැඩ කරපු කෙනෙක් කියලා දැනගන්න ඕනේ. ඉතින් හරිම ආඩම්බරයි.

නිවේදකයා: තාත්තා ඕගොල්ලෝ ගැන කියන්නේ මොකක්ද? විශේෂයෙන්ම දිනක්ෂිගේ රඟපෑම් ගැන? මොකද එයාට හොඳ අවබෝධයක් තියෙනවා.

ශනුද්‍රි: ඔව්, එයා හොඳ නරක දෙකම කියනවා. හොඳ විතරක් බොරුවට කියලා ඉන්නේ නැහැ. එයා ටිකක් මූණට කියනවා. ඒ කියන්නේ දැන් මොකක් හරි කරපු වැඩක් බල බල ඉද්දි "ආ මෙතන මේ ෆ්‍රේම් එක ආවොත් මෙතන කලර්ස් හරි නැහැ", "මේ ඇඳුම ඇන්දේ අපරාධයක්, ඒකට මහතට පේනවා වගේ" කියලා එයා කියනවා. ඉතින් එයාගෙන් ජෙනුයින් (Genuine) සපෝට් එක ලැබෙනවා.

අපි අදටත් අපිට මොනවා හරි දේවල් දැනගන්න තිබුනොත්, රංගනය ගැන හරි, මොනවා හරි චිත්‍රපටි ගැන හරි, කැමරාවක් ගැන හරි දැනගන්න ඕනේ වුනාම මුලින්ම අපි තාත්තගෙන් තමයි අහන්නේ. මොකද එයාට ඒ සම්බන්ධව, විශේෂයෙන්ම තාක්ෂණික පසුබිම ගැන හොඳ දැනුමක් තියෙනවා. තාත්තා ඉතින් අර හොඳ නරක දෙකම කියනවා. ලොකුවට එයා පෙන්නන්නේ නැහැ එළියට. එයා එළියට ගිහින් "මගේ ළමයින් ගැන ආඩම්බරයිදෝ" කියලා කිය කිය යන කෙනෙක් නෙමෙයි. තාත්තා හරිම නිහඬ (Reserved) මනුස්සයෙක්. හැබැයි මම දන්නවා එයාගේ හැසිරීමෙන්, එයා අක්කලා දෙන්නා ගැන, මං ගැන, අපි දෙයක් කරනවා නම් ඒ දේ ගැන කොච්චර ආඩම්බර වෙනවද කියලා එයාව දැක්කම පේනවා.

නිවේදකයා: දැන් ඕගොල්ලෝ සෝෂල් මීඩියා (Social Media) කියන එකේ හරි සක්‍රියයිනේ ඔය තුන් දෙනා. ඔයා දැන් සාමාන්‍යයෙන් හිතට එන ඕන කන්ටෙන්ට් එකක් කරනවද?

ශනුද්‍රි: හිතට එන්න ඕන එකක් කරන්නේ නැහැ. සෝෂල් මීඩියා හැන්ඩල් කරනකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ ෆලෝවර්ස්ලා දැන් ඇත්තටම මගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉන්ස්ටග්‍රෑම් ඒ ඔක්කොමගෙන්ම මිලියනය පහු කරලා තියෙනවා. ඒ කියන්නේ මම හරිම ග්‍රේට්ෆුල් මගෙත් එක්ක ඉන්න පිරිසට.

සෝෂල් මීඩියා එක ආටිස්ට් කෙනෙක්ට ගොඩක් වටිනා තැනක් මිනිස්සුත් එක්ක ඩිරෙක්ට් (Direct) කනෙක්ට් වෙන්න. දැන් සමහර තැන් වලදී අපේ ආටිස්ට්ලා කියනවා "අයියෝ අපිට මේ සෝෂල් මීඩියා වැඩක් නැහැ, අපිට එහෙම ඕනේ නැහැ" කියලා. නමුත් මේ ලෝකයේම හදලා තියෙන්නේ අපි ඔය පාවිච්චි කරන්න ඕනේ. ලෝකේ යන විදිහත් එක්ක මේ සෝෂල් මීඩියා කියන දේ එන්නේ කනෙක්ට් වෙන්නනේ. ඉතින් මං නම් ඒක හරිම පොසිටිව් (Positive) දෙයක් විදිහට ගන්නේ.

සෝෂල් මීඩියා එක නිසා මට ලැබිලා ඉන්න ප්‍රේක්ෂකයෝ හරිම ලොකු පිරිසක් ඉන්නවා. සහ හොඳ ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් සෝෂල් මීඩියා කියන දේ හරියට පාවිච්චි කළොත්, හරි කන්ටෙන්ට් එක දාලා තමන්ගේ ඕඩියන්ස් (Audience) එක අඳුරගෙන ඒකට කේටර් (Cater) කරොත්, මං හිතන්නේ සෝෂල් මීඩියා වල ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්.

මම වැඩිපුරම කැමති මගේ සෝෂල් මීඩියා වලින් මිනිස්සුන්ට මොනවහරි හොඳ දෙයක් දෙන්න. ඒ අයට මගේ ලයිෆ් එකෙන් හරි, ඒ කියන්නේ මගේ පර්සනල් දෙයක් හරි මම ලිමිට්ස් (Limits) ඇතුව මිනිස්සුත් එක්ක ශෙයා කරගන්නවා. ඒක ගොඩක් මම කරන්නේ මගේ ව්ලොග් (Vlog) වලින්. මම යූටියුබ් ව්ලොග් කරන්න හරි කැමතියි. ඒකෙන් මට ගොඩාක් පර්සනලි හම්බුනාම ගෑනු ළමයි හරියට කියනවා ඒගොල්ලොන්ට කොච්චර මෝටිවේට් (Motivate) වෙනවද කියලා. මොකද මෑතක මම කොරියාවට ගිහිල්ලා ආවේ. එහෙදිත් මාව බදාගෙන කතා කරපු අය හිටියා. එයාලා එහේ ජොබ්ස් කරද්දී ඒකේ ඒ ස්ට්‍රෙස් (Stress) එක, ඒ ප්‍රෙෂර් එකත් එක්ක, එහෙම නැත්නම් සමහර අය එක්සෑම් අස්සේ කට්ටිය රෑට එකතු වෙලා මගේ ව්ලොග් එකක් බැලුවම ඒගොල්ලන්ගේ ඔලුවට හරි නිදහස් කියලා කියනවා. ඒ කියන්නේ ඒක ඇහෙද්දී හරි සතුටුයි. මොකද මම මගේ ව්ලොග් වලින් මම කිසිම තැනක බොරුවක් පෙන්නන්නේ නැහැ. මම මේ ඉන්න කෙනාම තමයි.

නිවේදකයා: මට කියන්නකෝ මේ පුංචි කෙනෙක්ගේ භූමිකාව මොකද? දැන් ඩබල් පුංචි නේ?

ශනුද්‍රි: ඔව් නේ, දැන් පුංචි දෙපාරක් පුංචි වෙලා ඉන්නේ. මං හිතන්නේ මට අක්කලා දෙන්නගෙන් ලැබුනු හොඳම තෑගි දෙක තමයි ඒ සාරන්‍යයි, ක්‍රිෂාර්‍යයි (Krizya). සාරන්‍යා තමයි ගොඩක් වෙලාවට මිනිස්සු දකින්නේ. සාරන්‍යාට මං වැඩිපුර කැමතියි, ක්‍රිෂාර්‍යට අඩුවෙන් කැමතියි කියලා එහෙම නැහැ. මොකද චූටි කාලේ ක්‍රිෂාර් අම්මත් එක්කමයි. එයා අපේ අතට එනවා හරිම හොරයි. හැබැයි සාරන්‍යා පැනගෙන එනවා අපි ළඟට. ඉතින් අර මං ෆොටෝ එකක් දැම්මත් සාරන්‍යත් එක්ක දාන ප්‍රමාණය වැඩියි.

නමුත් දැන් ඒ දෙන්නා නිකන්... ඒ දෙන්නව දවසක් දෙකක් උපරිම ඉන්න පුළුවන්, දැක්කේ නැත්නම් පොඩ්ඩක් සාංකාව වගේ. ඒ දෙන්නා මට කියන්නේ "ෂනු" කියලා. ඒ කියන්නේ බබාලා දෙන්නාව දැක්කම අක්කලා දෙන්නාව මතක් වෙනවා. ඉතින් ඒගොල්ලො ඉස්කෝලෙන් ගන්න යන ඒවාද, ඒගොල්ලොට කෑම උයන ඒවාද... ඉතින් ඒවා ඒවත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපේ පවුලම දුවන්නේ. එයාලා හරිම ආසයි මම එහෙම එනකොට, මම මොනාම හරි අරන් යනවා. පොඩි ටොෆියක් හරි අරන් යනවා, ඉතින් මග බලාගෙන ඉන්නවා එනකන්. ඉතින් හරිම ආදරෙයි මම ඒ දෙන්නට.

නිවේදකයා: දැන් අක්කලා ඉන්නේ අක්කලාගේ ගෙවල් වල නේ?

ශනුද්‍රි: ඔව්. මෙහෙමයි, අපේ ගෙදර අක්කලා වෙනම හිටියට අපි සාමාන්‍යයෙන් සතියට සැරයක් හරි ඔක්කොමලාම එනවා. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් හිතන්න ලොකු අක්කට හදිසි වැඩක් තිබුනොත් බබාව අපේ ගෙදර දාලා, දෙවෙනි අක්කට යන්න තියෙනවා අපේ ගෙදර දාලා. ඉතින් ඒ නැතත් අක්කලා දෙන්නා කොහොමත් එනවනේ අම්මා තාත්තා බලලා යන්න. ඉතින් ඒකත් එක්ක පවුලේ ආවම රැයක් දෙකක් ඉඳලා යන අවස්ථා තියෙනවා. හරි ෂෝක් ඒගොල්ලෝ ඉන්න එකෙන් අර අපේ පවුලේ තියෙන බොන්ඩ් (Bond) එක තව වැඩි වුනා.

නිවේදකයා: අපි මේ සාකච්ඡාව අවසන් කරන්න ඔයාට ඔයාගේ ෆෑන්ස්ලාට (Fans) මොනවා හරි කියන්න ඕනෙද?

ශනුද්‍රි: ඔව්, මෙච්චර වෙලාව මේ වැඩසටහන අහගෙන හිටියාට, බලාගෙන හිටියාට ගොඩක් ස්තූතියි. ඒ වගේම මම දන්නවා මට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට මම හැමදාම හිතන්නේ, මම තව මොනවද හොඳට ඕගොල්ලොන්ට තව මීට වඩා හොඳින් කරන්න ඕනේ කියලා. ඉතින් බොහොම ස්තූතියි හොඳ නරක දෙකම බාර අරගෙන මගෙත් එක්ක මේ තාක් දුර ඉන්නවට.

විශේෂයෙන්ම මේ දිනවල 'මෝඩ තරිඳු' චිත්‍රපටියටයි, 'නීරා' චිත්‍රපටියටයි හිතුවෙවත් නැති විදිහට ප්‍රතිචාර දක්වනවට ගොඩාක් ස්තූතියි. සමහර අය මට කියනවා උදේ මෝඩ තරිඳු බලලා හවස නීරා බැලුවා කියලා. ඉතින් අර සමහර අය දෙතුන් පාර චිත්‍රපටිය නරඹපු අය ඉන්නවා. ඉතින් ඒ අයට හැමෝටම ගොඩාක් ස්තූතියි. ඕගොල්ලොන්ගේ සපෝට් එක නැතුව ඇත්තටම අපි මේ කරන කිසිම දෙයක් අපිට සාර්ථකව කරගන්න වෙන්නේ නැහැ. මොකද අපි කොච්චර ආසාවෙන් වැඩක් කරත්, ඕගොල්ලෝ ඒක බාර ගන්න විදිහ අනුව තමයි වැඩේ සාර්ථකද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඔයාලගෙන් ලැබෙන සපෝට් එක ගොඩාක් වටිනවා අපිට. ඉතින් ගොඩාක් ස්තූතියි මෙච්චර කල් හරිම ආදරෙන් අපිත් එක්ක ඉන්නවට. ඉස්සරහට අනිවාර්යෙන් තවත් හොඳ නිර්මාණ වලින් හම්බවෙමු. ගොඩක් ස්තූතියි.

නිවේදකයා: ශනුද්‍රි, බොහොම ස්තූතියි මේ වගේ බිසි ටයිම් (Busy Time) එකක අපිව හම්බවෙන්න ආවට.

ශනුද්‍රි: ඔව් අයියටත් බොහොම ස්තූතියි. හරිම ලස්සනට වැඩසටහන කරනවා. ඒ වගේම හොඳ කතා බහක් කරාට ගොඩක් ස්තූතියි.