no-allowance-will-be-taken-for-post-mortem-examinations-of-those-who-died-due-to-disasters

 "දිට්වා" සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයින පුරා ඇති වූ ගංවතුර සහ නායයෑම් වැනි ස්වාභාවික විපත් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් සිදු කරන හදිසි මරණ පරීක්ෂණ වෙනුවෙන් රජය විසින් ලබා දෙන දීමනා කිසිවක් ලබා නොගැනීමට සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

හදිසි ආපදා තත්ත්වය හමුවේ රජයට දැරීමට සිදුව ඇති විශාල වියදම් සහ පීඩාව සැලකිල්ලට ගනිමින්, ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස මෙම මානුෂීය තීරණය ගත් බව එම සංගමයේ සභාපති අනුර හේරත් මහතා සඳහන් කළේය.




පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල සහ බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක රැසක මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර එම මරණ කඩිනමින් ඥාතීන් වෙත මුදා හැරීම සඳහා මරණ පරීක්ෂකවරුන් දැඩි කැපවීමකින් කටයුතු කර ඇත. විශේෂයෙන්ම හඟුරන්කෙත, උඩුදුම්බර සහ නාවලපිටිය වැනි ප්‍රදේශවල නායයෑම් නිසා මාර්ග අවහිර වී ගමනාගමනය ඇනහිට තිබියදී පවා, මරණ පරීක්ෂකවරුන් කිලෝමීටර් 20ත් 25ත් අතර දුරක් පාගමනින්ම ගොස් සිය රාජකාරිය ඉටු කළ බව සභාපතිවරයා සිහිපත් කළේය.

සාමාන්‍ය පරිදි එක් හදිසි මරණ පරීක්ෂණයක් වෙනුවෙන් රජය විසින් නිශ්චිත දීමනාවක් ගෙවනු ලබන නමුත්,


රට පත්ව ඇති අසීරු අවස්ථාවේදී සාමාජිකයන්ගේ බහුතර කැමැත්ත මත මෙම ආපදා මරණ සඳහා එම මුදල් ලබා නොගැනීමට පියවර ගෙන තිබේ. තම ජීවිත අවදානම පවා නොතකා විපතට පත් ජනතාව වෙනුවෙන් සේවය සැලසූ මරණ පරීක්ෂකවරුන්ගේ මෙම ක්‍රියාව අගය කළ යුතු ආදර්ශයක් බව ද අනුර හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.