ලෝකයේ අංක එකේ බිලියනපති එලොන් මස්ක්ට අයත් ඇමරිකා එක්සත් ජනපදය මූලික කරගත් ස්ටාර්ලින්ක් (Starlink) සමාගම විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් ස්ටාර්ලින්ක් අන්තර්ජාල සම්බන්ධතා ඒකක 100ක් පරිත්‍යාග කර තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම පරිත්‍යාගය මෙරට ආපදා මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පිටිවහලක් වනු ඇති බවයි.මෙම උපකරණ භාවිතය මගින් හදිසි ආපදා තත්ත්වයන්හිදී සන්නිවේදන හා සම්බන්ධතා පහසුකම් පුළුල් කිරීමට හැකි වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා පෙන්වා දුන්නේය. එමගින් ආපදා සහන සේවා සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව සිදු කිරීමට අවස්ථාව උදා වන බව ඒ මහතා විශ්වාසය පළ කළේය.
අද (13) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කළේ අදාළ දෘඩාංග ඒකක මේ වන විටත් දිවයිනට ළඟා වී ඇති බවයි. ආපදා ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා එම උපකරණ කඩිනමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාර දීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ආපදා තත්වය ඇතිවූ අවස්ථාවේ මින් ඉහත ස්ටාර්ලින්ක් (Starlink) සමාගම විසින් එහි වර්තමාන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත මාසයක බිල නිදහස් කළ අතර එයද ආපදා තත්වයට උපකාරයක් ලෙස සිදු කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval