modi-calls-anura

 ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ ආපදාවට පත් සියලු ප්‍රදේශවල පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් අඛණ්ඩව සහාය ලබා දීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඊයේ දිනයේදී පැවති දුරකථන සංවාදයකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සහතිකය ලබා දී ඇත.



පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ ජීවිත හානි සහ දේපළ විනාශයන් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය බලවත් ශෝකය පළ කළ අතර,


මෙම අසීරු අවස්ථාවේදී ඉන්දීය ජනතාව ශ්‍රී ලාංකික ජනතාව සමඟ ශක්තිමත්ව රැඳී සිටින බව ද සිහිපත් කළේය.

මෙම ව්‍යසනය හමුවේ ඉන්දියාව විසින් කඩිනමින් ලබා දුන් සහන ද්‍රව්‍ය මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා දැක්වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අග්‍රාමාත්‍ය මෝදි වෙත සිය කෘතඥතාව පළ කර සිටියේය.

කලාපයේ පළමු ප්‍රතිචාරකයා ලෙස ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන ක්‍රියාවලියට සහාය වීමටත්, අඩාල වී ඇති මහජන සේවාවන් සහ බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපායන් නැවත යථා තත්ත්වයට පත් කිරීමටත් අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සහතික වී තිබේ.