many-uae-flights-cancelled-due-to-heavy-rain

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අයහපත් කාලගුණය හේතුවෙන් එරට ජන ජීවිතය දැඩි ලෙස අඩාල වී ඇත. අද (19) දිනයේ ද රටේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් සහ ගිගුරුම් සහිත වැසි ඇද හැලෙමින් පවතින බැවින් ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙස ද ඔවුහු වැඩිදුරටත් පවසති.




මෙම අයහපත් කාලගුණ තත්ත්වය ගුවන් ගමන්වලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර එමිරේට්ස් සහ ෆ්ලයි ඩුබායි වැනි ප්‍රධාන ගුවන් සමාගම් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබේ. එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත්තේ ඩුබායි සිට ටෙහෙරාන්, දම්මාම්, බස්රා, මස්කට්, කුවේට්, බහරේන්, සීෂෙල්ස්, මාලේ, කොළඹ, පෙෂාවර්, ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ඉන්චියොන් දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් කිහිපයක් අද දින අවලංගු කළ බවයි. මගීන්ට තම ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමටත්, සම්බන්ධ කරගත හැකි තොරතුරු යාවත්කාලීනව තබා ගැනීමටත් එම සමාගම ඉල්ලා සිටී. එයාර් ඇරේබියා ගුවන් සමාගම ද අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස මගීන්ට දැනුම් දී ඇත.

මේ අතර කාලගුණික විපර්යාස හේතුවෙන් පුද්ගල මරණයක් ද වාර්තා වී තිබේ. රාස් අල් කයිමා ප්‍රදේශයේදී අධික වර්ෂාවත් සමඟ තාප්පයක් කඩා වැටීමෙන් 27 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු වන සල්මාන් ෆාරිස් නමැති තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රට පුරා පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන ලෙස මානව සම්පත් අමාත්‍යාංශය (MoHRE) ඉල්ලා සිටී. තවද අබුඩාබි නගර සභාව විසින් පාලනය කරනු ලබන සියලුම උද්‍යාන සහ වෙරළ තීරයන් තාවකාලිකව වසා දැමීමටත්, ප්‍රජා උත්සව පැවැත්වීම අත්හිටුවීමටත් පියවර ගෙන ඇත.




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර වර්ෂාව, අකුණු සහ තද සුළං හේතුවෙන් මාර්ගවල දෘශ්‍යතාව අඩු වී ඇති බැවින් දැඩි විමසිල්ලෙන් රිය ධාවනය කරන ලෙස ඩුබායි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. අල් අයින් - ඩුබායි මාර්ගයේ වේග සීමාව පැයට කිලෝමීටර 100 දක්වා අඩු කර ඇති අතර විද්‍යුත් පුවරුවල දිස්වන උපදෙස් පිළිපදින ලෙස අබුඩාබි පොලිසිය රියදුරන්ට දැනුම් දී ඇත.

ගංවතුර අවදානම සම්බන්ධයෙන් සාජා සිවිල් ආරක්ෂක අධිකාරිය ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර සිකුරාදා දිනය පුරා හදිසි ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බව පවසයි. ජලයෙන් යට වූ මාර්ග හෝ වේගයෙන් ජලය ගලා යන ස්ථාන හරහා ගමන් කිරීමෙන් වළකින ලෙසත්, දරුවන් වැසි ජලය රැඳී ඇති ස්ථානවලින් ඈත් කර තබන ලෙසත් ඔවුන් මහජනතාවට උපදෙස් ලබා දී තිබේ. මාර්ග ආරක්ෂාව සහ රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ඩුබායි හි ආර්ටීඒ (RTA) ආයතනය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික ප්‍රතිචාර ඒකක සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් සේවයේ යොදවා ඇත. තවදුරටත් වැසි, ගිගුරුම්, අකුණු, තද සුළං සහ මුහුද රළු වීම වැනි තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) අනතුරු අඟවයි.