බත්තරමුල්ල, නිදහස් මාවත ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක් අනපේක්ෂිත ලෙස පසුපසට ධාවනය වීමෙන් සිදුවූ අනතුරකින් එහි රියදුරු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය, කහදූව, 5 කණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි හරන්නාගොඩ හෙට්ටිගොඩගේ ප්‍රසාද් සමීර නැමැත්තෙකි.
ලොරි රථය සහ තාප්පයක් අතර සිරවීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට රැගෙන යන අතරතුර මියගොස් ඇති බව තලංගම පොලිසිය පවසයි.
සිද්ධිය වූ අවස්ථාවේදී, මියගිය රියදුරු බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසැලකින් වැලි තොගයක් යාබද නිවසක් වෙත ප්‍රවාහනය කරමින් සිට ඇත. වැලි තොගය බෑම සඳහා ලොරි රථය නවතා ඔහු එයින් බැසගත් පසුව, රථය අනපේක්ෂිත ලෙස පසුපසට ධාවනය වීමට පටන්ගෙන තිබේ. මෙම අවස්ථාවේදී ලොරි රථය නැවැත්වීමේ අරමුණින් එහි පිටුපස රෝදයට අඩයක් තැබීමට රියදුරු උත්සාහ කර ඇතත්, එය ව්‍යර්ථ වී ඇත. ලොරි රථයේ ගැටී විසිවී ගිය ඔහු, රථයට හා පිටුපස තිබූ තාප්පයකට මැදිව තෙරපීමෙන් මෙම බරපතල අනතුර සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
අනතුර සිදුවූ වහාම ඒ අසල සිටි ප්‍රදේශවාසීන් විසින් ලොරි රථය ඉදිරියට ගෙන තුවාලකරු ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් විසින් පසුව තහවුරු කර තිබේ. තලංගම හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය අනතුර සිදුවූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇත. මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන් විසින් හඳුනාගන්නා තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස ඇය පොලිසියට නියෝග කර තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී වැදගත් තොරතුරක් අනාවරණය වී ඇත. මියගිය ලොරි රථ රියදුරු සතුව බර වාහන සඳහා රියදුරු බලපත්‍රයක් නොතිබූ බවත්, ඔහු සතුව තිබී ඇත්තේ සැහැල්ලු වාහන සඳහා බලපත්‍රයක් පමණක් බවත්ය. මේ සම්බන්ධයෙන් තලංගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබයි.