බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බලයෙන් නෙරපා හැරීමේ ශිෂ්‍ය අරගලයේ ප්‍රමුඛයෙකු වූ ඉන්කිලාබ් මන්චා සංවිධානයේ නායක ෂරීෆ් ඔස්මාන් හාඩිගේ හදිසි අභාවයත් සමග එරට දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.
ඩකා නුවර පල්ලියක සිට ආපසු පැමිණෙමින් සිටියදී මුහුණු ආවරණය කරගත් පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ 32 හැවිරිදි මෙම තරුණ ක්‍රියාකාරිකයා, සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී බ්‍රහස්පතින්දා දින ජීවිතක්ෂයට පත්විය. ලබන වසරේ පෙබරවාරි 12 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර පැය 24ක් ගත වීමටත් මත්තෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට සූදානමින් සිටි හාඩි ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වීම බරපතල දේශපාලන සැකසංකා මතු කර ඇත.හාඩිගේ මරණයත් සමග ඩකා අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා හටගත් අතර, කෝපයට පත් පිරිස් එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වන 'ද ඩේලි ස්ටාර්' සහ 'ප්‍රොතොම් ආලෝ' කාර්යාල වෙත කඩා වැදී දේපළවලට හානි සිදු කර ගොඩනැගිලිවලට ගිනි තබා තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් අදාළ ගොඩනැගිලි තුළ සිරවී සිටි මාධ්‍යවේදීන් මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ ගිනි නිවන ඒකක දැඩි පරිශ්‍රමයක් දැරූ බව වාර්තා වේ. මීට අමතරව ඡායනොට් සහ උඩිචි ශිල්පි වැනි සංස්කෘතික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ල වී ඇති අතර, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා මැතිවරණ ක්‍රියාවලිය අඩාල කිරීමේ අරමුණින් සිදුවන බවට චෝදනා එල්ල වී ඇත.
මෙම ඝාතනය ජාතියට සිදු වූ දැවැන්ත අලාභයක් ලෙස හැඳින්වූ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යූනුස්, සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන ගමන භීෂණය හමුවේ නතර කළ නොහැකි බව අවධාරණය කළේය. කෙසේ වෙතත්, උද්ගතව ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වය පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවත්, ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් පවතින බවත් විචාරකයෝ පෙන්වා දෙති. ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් අදහස් දක්වන්නේ පවතින කලහකාරී තත්ත්වය හේතු කොටගෙන පෙබරවාරි මැතිවරණය කල් දැමීමට අන්තර්වාර රජය උත්සාහ දරන බවයි.
පසුගිය සෙනසුරාදා ඩකා නුවර මානික් මියා මාවතේ පැවති හාඩිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වූ අතර, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ජාතික කවියා වන කාසි නස්රුල් ඉස්ලාම්ගේ සොහොන අසල ඔහුගේ දේහය මිහිදන් කරන ලදී. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශිෂ්‍ය නායකයින් රජයෙන් ඉල්ලා සිටියේ පැය 24ක් ඇතුළත අපරාධකරුවන් පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙසයි. හාඩිගේ මරණයට යුක්තිය ඉල්ලා සිටිමින් සහ හසීනා බංග්ලාදේශයට භාර දිය යුතු බව පවසමින් අන්තවාදී කණ්ඩායම් ඉන්දීය දේශසීමාව දෙසට විරෝධතා පාගමන් දියත් කිරීම හේතුවෙන් දේශසීමා ආරක්ෂාව තර කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆයිසාල් කරීම් මේ වන විට ඉන්දියාවට පලා ගොස් ඇති බවයි. ඔහු මෙම අපරාධය සිදු කිරීමට පෙර දින සිය පෙම්වතියට රට කැලඹෙන සිදුවීමක් වන බවට ඉඟි කර තිබූ බව ආරක්ෂක අංශ සොයාගෙන ඇත. මීට අමතරව මයිමන්සිං නගරයේදී ඊශ්වර අපහාස චෝදනා මත 25 හැවිරිදි හින්දු තරුණයෙකු අමානුෂික ලෙස ඝාතනය කර සිරුර ගිනි තැබීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වසර 15ක පාලනය නිමා කරමින් ෂෙයික් හසීනා නෙරපා හැරීමේ අරගලයේදී ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ හාඩි, මීට පෙර ඉන්දියානු භූමි ප්‍රදේශ ඇතුළත් 'මහා බංග්ලාදේශය' සිතියමක් සමාජ මාධ්‍යයේ පළ කිරීම හරහා ආන්දෝලනයට ලක් වූ චරිතයකි.