kerawalapitiya-expressway-ticket-changes

2025 දෙසැම්බර් මස 22 වැනිදා දහවල් 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි, බාහිර වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට වෙනස්කම් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.




මෙම සංශෝධිත ක්‍රමවේදය යටතේ, සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු මාර්ග ඔස්සේ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන සඳහා කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී (KIC 1) ඇතුළු වීමේ ටිකට්පත් තවදුරටත් නිකුත් නොකෙරේ. ඒ වෙනුවට, එම වාහනවලට අධිවේගී මාර්ගයට ඇතුළු වීමේදී සෘජුවම සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරුවලදී ඇතුළු වීමේ ටිකට්පත් ලබාගත හැකි වනු ඇත.

තවද, බාහිර වටරවුම් අධිවේගී මාර්ගයෙන් පැමිණ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන සඳහා කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී පිටවීමේ කුවිතාන්සියක් සහ අලුතින් නිකුත් කරන ඇතුළු වීමේ ටිකට්පතක් ලබාගැනීම තවදුරටත් අනිවාර්ය නොවේ. දැනට පවතින ක්‍රියා පටිපාටියට අනුව, කැරවලපිටිය අන්තර් හුවමාරුවෙන් (KIC 2) අධිවේගී මාර්ගයෙන් පිටවන වාහන සඳහා පමණක් පිටවීමේ කුවිතාන්සි නිකුත් කිරීම අඛණ්ඩව සිදුවනු ඇත.




ඒ අනුව, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන රියදුරන් සීදුව හෝ පෑලියගොඩ අන්තර් හුවමාරුවලින් ඇතුළු වීමේ ටිකට්පත් ලබාගත යුතුවේ.

බාහිර වටරවුම් අධිවේගී මාර්ගයෙන් පැමිණෙන වාහනවලට ඇතුළු වීමේ ටිකට්පතක් ලබාගැනීමකින් තොරව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළුවීමට අවසර හිමිවන අතර, කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් පිටවන වාහනවලට අදාළ පිටවීමේ ගාස්තු ගෙවීමට සිදුවනු ඇත.



විද්‍යුත් ගාස්තු ගෙවීමේ පහසුකම් (Electronic Toll Payment) කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කිරීම සඳහා පමණක් ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. බාහිර වටරවුම් අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා විද්‍යුත් ගාස්තු ගෙවීම් භාවිතා කරන වාහන සඳහා නම් කළ මුදල් ගාස්තු අය කරන මංතීරු දිගටම භාවිත කළ යුතුවේ.

මෙම වෙනස්කම් හඳුන්වාදීමේ අරමුණ වන්නේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ රථවාහන ගමනාගමනය විධිමත් කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමයි.