"ඩිත්වා" සුළි කුණාටුවෙන් සිදුවූ විනාශය හමුවේ රට යළි ගොඩනැගීමේ ප්‍රයත්නයක නිරතව සිටින පසුබිමක, ඉන්දියාවේ සහ චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙපළක් ලබන සතියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙන වෙනම හමුවී සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මෙම හමුවීම්වලදී මෑතකදී ඇති වූ ස්වභාවික විපත මූලික කරගත් කරුණු සාකච්ඡා කෙරෙනු ඇති අතර, ඊට අමතරව ආර්ථිකය, ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය කරුණු පිළිබඳව ද පුළුල් අවධානයක් යොමු කෙරෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග සඳහන් කරයි.ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් හෙට දිවයිනට පැමිණීමට නියමිත අතර, ඉන් පසු දින ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතය. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ පණිවිඩයක් ද ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානමින් සිටී. ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම ඇතුළු සහයෝගීතා ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර, මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා රජයේ සහ ජනතාවගේ ස්තූතිය පළ කිරීමට ද නියමිතව ඇත.
මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති ලී චියැං යන මහත්වරුන්ගෙන් පසුව චීන රජයේ තෙවැනි ඉහළම නායකයා ලෙස සැළකෙන ජ්‍යෙෂ්ඨ චීන නිලධාරී ෂාවෝ ලෙජි මහතා සහ එම දූත පිරිස අඟහරුවාදා දිවයිනට පැමිණීමට නියමිතය. එදිනම ජනාධිපති දිසානායක මහතා හමුවීමට නියමිත ඒ මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙනු ඇත.
සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව රටට අවශ්‍ය හදිසි අවශ්‍යතා මෙන්ම අනාගතයේදී චීනයෙන් ලැබිය හැකි ආධාර සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
සුළි කුණාටු සහන කටයුතු සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවට අමතරව, විපතට පත් ජනතාවට සහාය වීම සඳහා ලබන වසරේදී ද ඊට සමාන මුදලක් අවශ්‍ය වනු ඇති බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. අයවැය සීමා කිරීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් හේතුවෙන් මෙම වසර සඳහා පරිපූරක ඇස්තමේන්තු සීමා කිරීමට සිදුවුවද, ලබන වසරේදී ද මෙම සහන කටයුතු පවත්වාගෙන යාම සඳහා අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.