ඊයේ (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබුණු පුපුරන ද්‍රව්‍ය සහිත වාහනයක් පරිශ්‍රයේ නවතා ඇති බවට සඳහන් තර්ජනාත්මක පණිවිඩයක් හේතුවෙන් කාර්යාල කටයුතු මුළුමනින්ම ඇණහිටි අතර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ද ඇති විය. කෙසේ වෙතත්, පොලිස් පරීක්ෂණවලින් පසුව අනාවරණය වූයේ මෙම තොරතුර ව්‍යාජ එකක් බවයි.
2021 වසරේ ඉන්දීය බුද්ධි අංශ විසින් නිකුත් කරන ලද වාර්තාවක් විකෘති කර මෙම පණිවිඩය සකස් කර ඇති බවද හෙළි වී තිබේ.දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය, විශේෂ කාර්ය බළකාය, බෝම්බ නිශ්ක්‍රීය අංශය මෙන්ම පොලිස් සුනඛ අංශය ද එම ස්ථානයට කැඳවා පුළුල් ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කළේය. ඊයේ පෙරවරු 9.30 ට පමණ ඇරඹුණු මෙම සෝදිසි කිරීම් අතරතුර කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටු වසා දැමීමට පියවර ගැනීම හේතුවෙන් විවිධ සේවාවන් අපේක්ෂාවෙන් පැමිණි මහජනතාවට දැඩි අපහසුතා රැසකට මුහුණ දීමට සිදු විය.
මේ අතර, කාර්යාලයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ට ඔවුන්ගේ පෞද්ගලික හා රාජකාරී වාහන වෙත වහාම පැමිණෙන ලෙස පොලීසිය උපදෙස් දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සිය රාජකාරී කටයුතු නවතා දමා වාහන පරීක්ෂා කිරීමේ කටයුතුවලට සහාය වීමට සිදුවිය. පළමු තර්ජනාත්මක විද්‍යුත් තැපෑල ව්‍යාජ එකක් බවට පොලීසිය තහවුරු කර පැයක් ගතවීමටත් මත්තෙන්, ඊට සමාන තවත් පණිවිඩයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබීමත් සමඟ, කාර්යාලය තුළ පැවති බිය තවදුරටත් වර්ධනය විය. මේ හේතුවෙන් ඇතැම් සේවකයින් නිවාඩු ලබාගෙන නිවෙස් බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
විශේෂයෙන්ම, මෙම දෙවන විද්‍යුත් තැපැල් පණිවිඩය සේවකයන් අතර හුවමාරු වී ඇති ආකාරය පිළිබඳව සැක කටයුතු තත්ත්වයක් මතුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත. 25 නත්තල් නිවාඩුව හා 27 සෙනසුරාදා අතරමැදි 26 වනදා නිවාඩුව ලබාගෙන දීර්ඝ සති අන්තයක් ලබාගැනීමට සේවකයින් වැඩිදෙනෙකු ප්‍රියකරන වාතාවරණය තුළ නිර්මාණයවූ ව්‍යාජ ඊමේලයක්දැයි සැකයක් පැනනැගී ඇත.
මෙම සමස්ත සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙමින් පවතී.