ශ්‍රී ලංකාවට බලපෑ දරුණු සුළි කුණාටු සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් සත්ත්ව පාලන ක්ෂේත්‍රයට සිදු වූ හානිය මත රට තුළ බිත්තර හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි. විශේෂයෙන් එළඹෙන උත්සව සමයේදී කේක් නිෂ්පාදනය සඳහා මෙය දැඩිව බලපෑ හැකි බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙයි.
සීදුව, රද්දොළුගම පිහිටි එම සංගමයේ මූලස්ථානයේ පසුගියදා (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා කිකිළියන් ලක්ෂ 30ක් පමණ මියගොස් ඇති බවයි. මෙම හදිසි විනාශය හේතුවෙන් මේ වන විටත් වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
වාර්ෂික කේක් අලෙවියෙන් සියයට 25ක පමණ ප්‍රතිශතයක් නත්තල් සහ 2026 අලුත් අවුරුදු සමය තුළ සිදු වන බැවින්, එම කාලසීමාවේදී බිත්තර හිඟයක් මතු වුවහොත් එය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා පිටි, සීනි, බිත්තර සහ මාගරින් යන අමුද්‍රව්‍ය හතර අත්‍යවශ්‍ය සාධක වන බව පෙන්වා දුන් සභාපතිවරයා, බිත්තර හිඟය හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බව අවධාරණය කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බිත්තර හිඟයට පිළියමක් ලෙස විකල්ප විසඳුම් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජයවර්ධන මහතා රජයෙන් ඉල්ලීමක් ද සිදු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval