gossiplanka image 1

 වත්මන් ආපදා තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට සහ සමාජයට එල්ල වී ඇති දැඩි බලපෑම කළමනාකරණය කරමින්, රට යළි ගොඩනඟා ඉදිරි වසර දෙක තුළ වර්තමානයට වඩා යහපත් රටක් දරුවන් වෙනුවෙන් තිළිණ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි. හදිසි ආපදා තත්ත්වය හමුවේ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින රජය,

මේ මොහොතේ ප්‍රමුඛතා හඳුනාගෙන ස්ථිරසාර හා තාවකාලික විසඳුම් ඔස්සේ ගැටලු දෙස බලන බව පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ආපදා තත්ත්වයෙන් උතුරු පළාතේ යාපනය, වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට යම් බලපෑමක් එල්ල වුවද, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට සිදුව ඇති හානිය ඉතා බරපතළ බව නිරීක්ෂණය වී තිබේ.


විශේෂයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් කුඹුරු අක්කර 35,000ක පමණ වගා හානි සිදුව ඇති අතර, එම ජනතාවට කඩිනමින් වන්දි ලබා දීමටත්, උතුරු පළාත් දිසාපතිවරුන්ගේ ඉල්ලීම්වලට උපරිම සහාය ලබා දීමටත් රජය පියවර ගෙන ඇත. නයිනතිව් දූපත්වාසීන්ගේ බෝට්ටු ගමනාගමනයට එල්ල වී ඇති බාධා ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති අතර, ඉංජිනේරුවරුන් ඇතුළු පාර්ශ්වයන්ගේ ස්වේච්ඡා දායකත්වය ද මෙම වැඩපිළිවෙළට ලැබෙමින් පවතී.

ආපදා සහන සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට මුදල් පරිහරණය කිරීමේ බලතල පුළුල් කිරීමට ද රජය විසින් සුවිශේෂී පියවරක් ගෙන තිබේ. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය ලේකම්වරයකුට රුපියල් ලක්ෂ 500ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, ග්‍රාම නිලධාරීවරුන්ට හදිසි අවශ්‍යතා සඳහා රුපියල් 50,000ක මුදලක් භාවිත කිරීමට අවසර ලබා දී ඇත. මීට අමතරව ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබා දී ඇති බවත්, පක්ෂ පාට භේදයකින් තොරව ජාතික වගකීමක් ලෙස සලකා සියලු දෙනා මෙම සහන සේවාවන් සඳහා මැදිහත් විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.




බිඳ වැටුණු ප්‍රවාහන සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද මේ වන විට වේගවත් කර ඇති අතර, හානියට පත් මාර්ගවලින් සියයට 98ක ප්‍රතිසංස්කරණ කටයුතු මෙම මස 10 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතය. රඹුක්කනින් ඔබ්බට දුම්රිය එන්ජින් විශාල ප්‍රමාණයක් සිරවී තිබුණ ද, අද වන විට දුම්රිය ගමන් වාර 150ක් ක්‍රියාත්මක කර ඇති අතර හෙට දිනයේ ලංගම බස් රථ 4200ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ. පාලම් අලුත්වැඩියාවට යම් කාලයක් ගතවන බැවින් නුවර සිට අඹේපුස්ස දක්වාත්, එතැන් සිට පොල්ගහවෙල දක්වාත් විශේෂ බස් සහ දුම්රිය ඒකාබද්ධ මෙහෙයුමක් මගින් ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීමට පියවර ගෙන ඇත.