it-is-revealed-in-court-that-there-was-a-technical-fault-in-the-crashed-helicopter

 වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් පැවති බව තමාට මෙන්ම ප්‍රධාන ගුවන් නියමුවාටද අවබෝධ වූ බව එම යානයේ සහාය ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක මහතා අධිකරණය හමුවේ අනාවරණය කළේය.



මෙම අනතුරින් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නීති කෘත්‍යය ඊයේ (09) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

ආපදාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් කටයුත්තක නිරතව සිටියදී ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා මෙම බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ගිං ඔයට කඩා වැටුණි.




එම අනතුර හේතුවෙන් ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ 41 හැවිරිදි වියේ පසුවූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාට සිය ජීවිතය අහිමි විය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක මහතා සඳහන් කළේ, ගුවන් හමුදා නියෝගයක් මත විපතට පත්වූවන් වෙත වියළි ආහාර බෙදාහැරීම සඳහා එදින සවස 5.00ට පමණ කටුනායක කඳවුරෙන් යානය ගුවන්ගත කළ බවයි.

වෙන්නප්පුව ප්‍රදේශයට ඉහළින් යානය ගමන් කරමින් තරමක් පහත් කරන විට ගිං ඔය පාලම මත හා ඒ අවට සිටි පිරිස් දෑත් වනමින් ආධාර ඉල්ලා සිටියද, පාලම මත විශාල පිරිසක් රැඳී සිටීම සහ ඒ ආසන්නයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පිහිටා තිබීම හේතුවෙන් යානය එම ස්ථානයට හෝ මාර්ගයට ගොඩබෑමට හැකියාවක් නොතිබූ බව සාක්ෂිකරු පැවසීය.

කෙසේ වෙතත් ජනතාව වෙත වියළි ආහාර පාර්සලයක් මුදා හැර ආරක්ෂිත වෙනත් ස්ථානයකට යානය ගොඩබෑමට උත්සාහ කළ අවස්ථාවේදී එහි කාර්මික දෝෂයක් ඇති බව තමාට හා ප්‍රධාන නියමුවාට දැනුනු බවත්, ඒ සමඟම යානය පාලනය කර ගැනීමට ගත් උත්සාහයත් සමග එය එක්වරම ගිං ඔයට කඩා වැටුණු බවත් හෙතෙම විස්තර කළේය.




අනතුර සිදුවූ වහාම මහත් පරිශ්‍රමයක් යොදා තමා සහ අනෙක් ගුවන් හමුදා සාමාජිකයින් තිදෙනා යානයෙන් ඉවතට පැමිණි අතර, යානය තුළ සිරවී සිටි ප්‍රධාන නියමුවාගේ ආසන පටි ඉවත් කර ඔහුව වහාම මාරවිල මූලික රෝහල වෙත යැවීමට පියවර ගත් බවද සහාය නියමුවා වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් තවදුරටත් සිදුකරන ලෙස උපදෙස් ලබා දුන් අතර විමර්ශන වල ප්‍රගතිය විමසීම සඳහා නඩුව යළි කැඳවීමට නියෝග කළේය.


සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here

gossiplanka image 1