a-special-unit-to-provide-information-on-vehicles-destroyed-in-the-disaster

 පසුගිය දිනවල රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ රථ වාහන සම්බන්ධයෙන් විධිමත් තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බවයි.

එසේම එළැඹෙන දෙසැම්බර් මස 15 වනදායින් පසුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.




මෙම ක්‍රියාවලියට අදාළ තොරතුරු ලබා දීමට හෝ යම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නම් 0707188866 යන වට්ස්ඇප් (WhatsApp) දුරකථන අංකය භාවිත කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත. ආපදාවට ලක් වූ වාහනවලට අදාළ ලිපි ලේඛන හෝ වෙනත් යම් සාක්ෂි ඉතිරිව ඇත්නම්, ඉදිරි විමර්ශන සහ කටයුතු පහසු වීම සඳහා ඒවා හැකිතාක් ආරක්ෂාකාරීව තබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. හදිසි ආපදා තත්ත්වය හමුවේ දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වෙත ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් මෙම කටයුතු විධිමත් කිරීම සඳහා මෙලෙස විශේෂ ඒකකයක් පිහිටුවීමට අවධානය යොමු වී තිබේ.




ආපදාවෙන් වාහනවලට හානි සිදු වූ පාර්ශවයන් ඒ පිළිබඳව පළමුව තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කිරීමට වග බලා ගත යුතුය. අනතුරුව ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තොරතුරු ලබා දී විධිමත් පොලිස් පැමිණිල්ලක් සිදු කිරීම අනිවාර්ය බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි. මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ඉදිරි පියවර ගැනීම සඳහා විවිධ අංශ හරහා නිවැරදි දත්ත සහ වාර්තා ලබා ගැනීම අතිශය වැදගත් වන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.