humanitarian-aid-from-many-countries-for-sri-lankans-in-distress

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මෙරට ලක්ෂ දහයකට අධික පිරිසක් විපතට පත්ව සිටින අතර, ගංවතුර සහ නායයෑම්වලින් අතුරුදන් වූවන් සොයා ගැනීමේ මෙහෙයුම්වලට මෙන්ම විපතට පත්වූවන්ට සහාය වීම සඳහා ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින සහ චීනය යන රටවල් ඉදිරිපත්ව සිටී.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම දැඩි ආපදා තත්ත්වය හමුවේ යටිතල පහසුකම් බිඳවැටී දහස් ගණනක් පීඩාවට පත්ව සිටින මොහොතක ජාත්‍යන්තර ප්‍රජාව සිය සහයෝගය පළ කර ඇත.




මෙම ආපදා තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය ප්‍රකාශ කළේ, විපතට පත් ජනතාවට කඩිනමින් සහාය වීම වෙනුවෙන් ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 02ක හෙවත් රුපියල් කෝටි 62ක පමණ මුදලක් වෙන්කර ඇති බවයි. ජාත්‍යන්තර සහයෝගිතා ආයතන හරහා මෙම ආධාර ජනතාව වෙත ලැබෙනු ඇති බවත්, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම අසීරු අවස්ථාවේදී දෙරට අතර පවතින කිසිදා නොබිඳෙන ශක්තිමත් හවුල්කාරීත්වය මෙමගින් පිළිබිඹු වන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

'සාගර් බන්ධු' මෙහෙයුම යටතේ ඉන්දියාව ද සිය මානුෂීය ආධාර ප්‍රමාණය ඉහළ නංවා ඇති අතර, ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් මගින් ටොන් 21ක ආධාර තොගයක් සහ ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ සාමාජිකයන් 80 දෙනෙකු මෙරටට එවා තිබේ. මීට අමතරව ඉන්දීය නාවික හමුදාවේ වික්‍රාන්ත් නෞකාවට අයත් චෙතාක් වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් යොදා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව සාර්ථක මුදාගැනීමේ මෙහෙයුම් හතරක් සිදුකර ඇති බවත්, තවත් හෙලිකොප්ටර් යානා දෙකක් සහ අත්‍යවශ්‍ය ආධාර රැගත් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තහවුරු කරයි.

ආපදා තත්ත්වය සහ සෞඛ්‍ය අවශ්‍යතා සොයා බැලීම සඳහා ජපාන රජය විසින් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායම් ඇතුළත් විශේෂ ආපදා සහන කණ්ඩායමක් ඊයේ (30) දිවයිනට පිටත් කර හැර තිබේ. විපතට පත් ජනතාව සඳහා කූඩාරම්, බ්ලැන්කට් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමටත්,


විපතට පත් ප්‍රදේශවල සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම්වලට සක්‍රීයව දායක වීමටත් ජපානය පියවර ගෙන ඇති බව ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේය.

අසල්වැසි මාලදිවයින් රජය ද විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සහ ටූනා මත්ස්‍ය ටින් 25,000ක් ලබා දීමට තීරණය කර ඇත්තේ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමිනි. මේ අතර පාකිස්තානය විසින් එවන ලද මානුෂීය ආධාර තොගය රැගත් එරට නාවික හමුදාවට අයත් 'සයිෆ්' නෞකාව කොළඹ වරායට සේන්දු වී ඇති අතර, එම ආධාර නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දීම ද සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙස චීනය ද මෙම අවස්ථාවේදී උපරිම සහාය ලබා දීමට තීරණය කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළ අතර, අදාළ ආධාර සහ සහන කණ්ඩායම් මේ වන විටත් මෙරටට ළඟා වෙමින් පවතින බව ඔවුහු සඳහන් කළහ.