government-education-reforms-take-away-parents-rights-archbishop

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ, දෙමව්පියන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති බවයි. 

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ හංවැල්ල, පහත්ගම පිහිටි අප ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.




මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණන් කියා සිටියේ, අද සමාජයේ විවාහ ජීවිතය කඩාකප්පල් කරන විවිධ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වන බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද නව ලිංගික අධ්‍යාපන පාඨමාලාව ඊට කදිම නිදසුනක් බවත්ය. අවුරුදු හයේ දරුවන්ගේ සිට වැඩිහිටි විය දක්වා ලිංගික අධ්‍යාපනය තුළින් විවිධ "විෂමතා" උගන්වන, ඒවා කළ හැකි බවත්, ඒවා හොඳ බවත්, වරදක් නොමැති බවත් උගන්වන මෙම ක්‍රමවේදය දෙමව්පියන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක් බව උන්වහන්සේ දැඩිව ප්‍රකාශ කළහ. "අපට එය පිළිගත නොහැක," යැයි උන්වහන්සේ අවධාරණය කළහ.

ශ්‍රී ලංකාවට උරුමයෙන්ම ලැබුණු සුවිශේෂී සංස්කෘතියක්, සභ්‍යත්වයක් සහ වටිනාකම් පද්ධතියක් පවතින බවත්, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුනු යන ප්‍රධාන ආගම්වල ප්‍රතිපත්තිවලින් පෝෂණය වූ මානුෂීය සංස්කෘතික ප්‍රතිපත්ති මාලාවක් අපට ඇති බවත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ. විවාහ ජීවිතය, දරුවන් හදා වඩා ගැනීම සහ ලිංගිකත්වය පිළිබඳව සමාජය තුළ පිළිගත් ආදර්ශ සහ නීති පද්ධතියක් මෙරට පවතින බවද උන්වහන්සේ සඳහන් කළහ.



කෙසේ වෙතත්, මෙම උරුමයන් නොතකා, බටහිර ලෝකයේ සිදුවන විවිධ "විෂමතා" මුදල් ලැබෙන නිසා පිළිගෙන, තමන්ගේ ප්‍රතිපත්ති පාවා දෙන්නේ නම්, එවැනි රජයකට රට පාලනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව උන්වහන්සේ තරයේ කියා සිටියහ. රටේ සංස්කෘතික උරුමයට හානි කිරීමට උත්සාහ කරන්නේ නම්, එය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, දේශපාලන නායකයන්ට අයිති කොටස පමණක් ඉටු කර, තමන්ට අයිති නැති දේ නොකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හෝ එක්සත් ජාතීන්ගේ දරු උපත් පාලන සංවිධානය වැනි විවිධ සංවිධානවලින් ලැබෙන මුදල් සමඟ එන වැරදි අදහස් සහ ආකල්ප මගින් රටේ සංස්කෘතික හා ආගමික පසුබිම විනාශ වන බවත්, දරු පවුල් කඩාකප්පල් වන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. දරුවන් දෙමව්පියන්ට එරෙහිව යොමු කර, ඔවුන්ට අකීකරු වීමට හා කැමති දේ කිරීමට ඉඩ දීමෙන් විශාල හානියක් සිදු වන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. දරුවන්ට මානව අයිතිවාසිකම් ඇති බව පිළිගන්නා නමුත්, දෙමව්පියන්ට එරෙහිව දරුවන් නැඟී සිටීම මානව අයිතිවාසිකමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ. දෙමව්පියන් සහ දරුවන් අතර පැවතිය යුත්තේ ආදරය පදනම් කරගත් සම්බන්ධතාවක් බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.