bus-services-resume-in-badulla

 බදුල්ල දිස්ත්‍රික්කය තුළ මෑතකදී ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වී තිබූ පොදු ප්‍රවාහන සේවාවන් යළි යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව බස් රථ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ පවතින සෑම මාර්ගයකම පාහේ නැවත බස් රථ ධාවනය ආරම්භ කරන බව බදුල්ල ඩිපෝ බලධාරීන් සඳහන් කරයි.



දිස්ත්‍රික්කය පුරා බලපෑ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග ඇතුළුව මාර්ග 165ක් පමණ විනාශයට පත් වී තිබුණි. කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වන විට ඉන් මාර්ග 111ක පමණ වැඩ කටයුතු අවසන් කර ඇති අතර, එම ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ග සියල්ලෙහිම බස් රථ ධාවනය කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.




මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ තවත් මාර්ග කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතින බවයි. විශේෂයෙන් ඇටම්පිටිය - වැලිමඩ, බදුල්ල - ස්ප්‍රිංවැලි, මඩොල්සිම - මැටිගහතැන්න, පස්සර - නමුණුකුල, ගලඋඩ - වාසනාගම සහ පස්සර - ලුණුගල යන මාර්ගවල මෙම පිළිසකර කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.