
මන්නාරම දිස්ත්‍රික්කය තුළ ගව මස්, එළු මස් සහ ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම මෙන්ම මස් පිණිස සතුන් ඝාතනය කිරීම ඊයේ (03) දින සිට සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කරන්නේ පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර ආපදා හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ආපදාවට ලක්ව මියගිය එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් පවතින බැවින්,
එය වැළැක්වීමේ මූලික පියවරක් ලෙස මෙම තහනම පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
මේ අතර ගංවතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හෝ ප්‍රවාහනය කිරීම සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා දිවයින පුරා සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ද සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙවැනි නීතිවිරෝධී සහ සෞඛ්‍යාරක්ෂිත නොවන මස් ජාවාරම් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම තම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. එසේ කිරීමට නොහැකි වන අවස්ථාවලදී පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ 1926 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval