
පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් කාලගුණික විපත්වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක විය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන 'සෝමේ' (Soome) ප්‍රමුඛ ස්වේච්ඡා කණ්ඩායමක් විසින් මෙම සද්කාර්යයට නායකත්වය ලබා දී තිබූ අතර, විපතට පත්වූවන් සඳහා වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීම එහි මූලික අරමුණ විය.
මෙම මානුෂීය මෙහෙයුම වෙනුවෙන් නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කාමරය අසල භූමිය භාවිත කිරීමට නාගරික කොමසාරිස්වරයා විසින් අවසර ලබා දී තිබූ අතර,
පරිත්‍යාග ලෙස ලැබෙන සියලු ද්‍රව්‍ය අවශ්‍යතාව මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව බෙදා හැරීමට මෙම පිරිස කටයුතු කරමින් සිටියහ.
කෙසේ වෙතත්, අදාළ සහන ද්‍රව්‍ය තමන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් උරණ වූ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම එම ස්ථානයට පැමිණ ඊට දැඩි විරෝධය පළ කර ඇත. විපක්ෂ මන්ත්‍රී කාමරය අසල ඇති එම ස්ථානයෙන් වහාම ඉවත් වී වෙනත් ස්ථානයකට යන ලෙස බල කරමින් ඔවුන් එම ස්වේච්ඡා කණ්ඩායමට තර්ජනය කර ඇති බව වාර්තා වේ.
මෙම අශෝබන සිදුවීම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වූ අතර, ආපදා තත්ත්වයක් තුළ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසකට මහජන නියෝජිතයන් පිරිසක් එල්ල කළ බාධා කිරීම් හමුවේ පොදු ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
සිද්ධිය සැලවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින්, මෙම සිදුවීම හේතුවෙන් සිත් රිදවීම් ඇතිවූ සියලු පාර්ශ්වයන්ගෙන් සමාව අයැද සිටියේය.
සෝමේ සහ ඔහුගේ කණ්ඩායම සිදුකළ සහන සේවා කටයුතුවලට බාධා කළ මහනුවර නගර සභාවේ සමගි ජන බලවේග සභිකයන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කර ඇත. අදාළ මන්ත්‍රීවරුන්ගේ අයහපත් හැසිරීම සහ අනවශ්‍ය මැදිහත්වීම් වෙනුවෙන් තමන් පක්ෂය වෙනුවෙන් අවංකවම කණගාටුව ප්‍රකාශ කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval