
අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා ගිනිඅවි ලබාදුන් බව පැවසෙන අනුර පුෂ්පකුමාර හෙවත් ‘බටු මීයා’ නමැත්තා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී
වෙනත් නඩුවකට අදාළව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එහිදී ඇප ලබා පිටතට පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා මෙන්ම පාතාල ක්‍රියාකාරිකයෙකු යැයි සැලකෙන කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වන මිරන්ත වරුසවිතාන මහතා පසුගිය නොවැම්බර් 04 වනදා අම්බලන්ගොඩ නගර සභාව අසලදී වෙඩි තබා ඝාතනය කෙරිණි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ සිටින පාතාල සාමාජිකයෙකු වන ‘ලොකු පැටී’ නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි. ඊට අවශ්‍ය ගිනිඅවි සපයා ඇත්තේ ලොකු පැටීගේ ඥාති සොහොයුරෙකු වන, මිනීමැරුම් චෝදනාවක් මත ඒ වන විටත් බන්ධනාගාරගතව සිටි මෙම ‘බටු මීයා’ නමැත්තා බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
වෙනත් ඝාතන චෝදනාවකට අදාළව මාස තුනකට පෙර ඇප හිමිව තිබුණද ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම නිසා බන්ධනාගාරගතව සිටි සැකකරු, ඇප කොන්දේසි සපුරා අධිකරණයෙන් නිදහස්ව යාමට සූදානම් වන බවට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව වෙනත් විමර්ශනයක් සඳහා කොළඹට පැමිණ සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණ භූමිය අසල රැක සිට සැකකරු එලෙස පිටතට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
තමන් පැහැර ගැනීමට පිරිසක් පැමිණි බව අත්අඩංගුවට පත් අවස්ථාවේ සැකකරු සිය නීතිඥවරයාට ප්‍රකාශ කර තිබූ අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද (13) දහවල් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval