backo-samans-wife-shadhika-released-on-bail

බැකෝ සමන් නොහොත් නිර්මල ප්‍රසංග නැමැත්තාගේ බිරිඳ වන තිස් හැවිරිදි ශාධිකා ලක්ෂානි ඊයේ (26) දිනයේදී රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස ලබා තිබේ. ඇයට පසුගිය 15 වනදා ඇප හිමිවුවද, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට හැකිවී ඇත්තේ ඊයේ දිනයේදීය.




ඉන්දුනීසියාවේ සැඟවී සිටි සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් පස් දෙනෙකු පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගැනුණි. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන නිලධාරියෙකුගේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් සමඟ සිටි බැකෝ සමන් නොහොත් නිර්මල ප්‍රසංග ද මෙලෙස අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.




මේ අතර, ඉන්දුනීසියාවේ සැඟවී සිටි බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා ද මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

ඇයට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදල් ඇප මත ඇප නියම කර තිබුණි. එමෙන්ම ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත. ඇප කොන්දේසි සම්පුර්ණ කිරීමෙන් පසු සැකකාරිය බන්ධනාගාරයෙන් පිටව ගියාය.