a-woman-who-died-of-brain-fluid-after-going-to-save-a-tooth

සුළු රෝගී තත්ත්වයක් හෝ ශාරීරික වේදනාවක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යාම සාමාන්‍ය දෙයකි. එහෙත් එම ප්‍රතිකාරයම තම ජීවිතය බිලිගන්නා මරුවා බවට පත්වනු ඇතැයි කිසිවෙකුත් සිහිනෙකින්වත් නොසිතනු ඇත.

එවන් අතිශය කණගාටුදායක සහ අවාසනාවන්ත පුවතක් පසුගියදා හොරණ ප්‍රදේශයෙන් වාර්තා විය. සාමාන්‍ය දත් කැක්කුමක් හේතුවෙන් දතක් ගලවා ඉවත් කිරීමට ගිය 20 හැවිරිදි තරුණියක එම ප්‍රතිකාරයෙන් පසුව ඇතිවූ බව කියන සංකූලතාවයක් හේතුවෙන් තම ජීවිතයෙන් සමුගෙන තිබේ. හොරණ හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වාර්තා කරන පරිදි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පොකුණුවිට, බණ්ඩාරහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කොට්ටේගේ දෙව්මි මදූෂිකා නම් තරුණියයි. පසුගිය ඉරිදා (28) රාත්‍රියේ ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 20කුත් මාස 10ක් පමණ විය.




මියගිය දෙව්මි මදූෂිකා දියණිය ප්‍රදේශයේ කවුරුත් ප්‍රියකරන දීප්තිමත් චරිතයක් විය. හොරණ මේධංකර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරු ඇය පාසලේ කැපී පෙනෙන සිසුවියකි. ඉගෙනීමට පමණක් නොව බාහිර ක්‍රියාකාරකම්වලටද එකසේ දස්කම් දැක්වූ ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කරමින් නායකත්ව ගුණාංග ප්‍රගුණ කළාය. සෞන්දර්ය විෂයයන්ටද ඇය තුළ තිබූ ලැදියාව අතිමහත්ය. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නැටුම් විෂය හදාරා ඉන් විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමටත්, සමස්ත ලංකා නැටුම් තරග නියෝජනය කරමින් පාසලට කීර්ති නාමයක් අත්කර දීමටත් ඇය සමත් වූවාය. වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇය විෂයයන් තුනම සමත්ව සම්මාන දෙකක්ද සහිතව ඉහළින් සමත් වූයේ අනාගතයේදී දක්ෂ ගණකාධිකාරිවරියක් වීමේ සිහිනය හදවතේ දරාගෙනයි.

ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නේ මෙම වසරේ නැවත වරක් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටියදීය. සිද්ධියට අදාළව ඇගේ මව වන මඩපාතගේ ලක්මාලි ප්‍රියදර්ශනී මහත්මිය හොරණ හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී හෘදයාංගම සාක්ෂියක් ලබා දී තිබුණි. ඇය සඳහන් කරන පරිදි මීට වසරකට පමණ පෙර දෙව්මි යම් දෙයකට බිය වූ විට හෘද ස්පන්දනය වැඩි වීමේ තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. එසේම කලක් තිස්සේ පැවති හිසේ කැක්කුමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී සිදුකළ සීටී ස්කෑන් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇයට කිසිදු අසාමාන්‍ය රෝගී තත්ත්වයක් නොමැති බවයි. මාස කිහිපයක් සායනික ප්‍රතිකාර ගැනීමෙන් පසු රෝගී තත්ත්වයන් මගහැරී ගිය බැවින් ඇය පසුව සාමාන්‍ය පරිදි නිරෝගීව දිවි ගෙවා ඇත.




කෙසේ වෙතත් පසුගිය සති කිහිපයක සිට ඇයට සෙම රෝගී තත්ත්වයක් හටගෙන තිබේ. පසුගිය 12 වැනිදා එම තත්ත්වය උත්සන්න වී ඇති අතර 13 වැනිදා රාත්‍රියේ ඇය මවට පවසා ඇත්තේ කටේ දතක් රිදෙන බවයි. නිවසේදී සාමාන්‍ය වේදනා නාශක ලබා දුන්නද ඇගේ වේදනාව සමනය වී නොමැත. ඒ අනුව පසුගිය 14 වනදා දෙමව්පියන් විසින් ඇයව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ. එදින ඉරිදා දිනයක් වූ බැවින් රජයේ රෝහලට නොගොස් පෞද්ගලික ස්ථානය තෝරාගෙන ඇති අතර, එහි පෝලිමේ සිටින අතරතුර හොරණ රෝහලට ගොස් සෙම රෝගය සඳහාද ප්‍රතිකාර ලබාගෙන නැවත පැමිණීමට ඔවුන් කටයුතු කර ඇත.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා විසින් දත පරීක්ෂා කිරීමෙන් පසු එම දත ගැලවීමට නිර්දේශ කර තිබේ. මවගේද කැමැත්ත ඇතිව දත ගැලවීමට අවශ්‍ය නිර්වින්දන එන්නත ලබා දුන් අවස්ථාවේදී දියණියට ක්ලාන්ත ගතියක් දැනී ඇත. මව ඒ බව වෛද්‍යවරයාට දැන්වූ විට එය සාමාන්‍ය තත්ත්වයක් බව වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ. දත ගැලවීමේදී විශේෂ අසීරුතාවයක් මතු නොවූ අතර පසුව නියම කළ ඖෂධද රැගෙන ඔවුන් නිවසට පැමිණ ඇත. එහෙත් නිවසට පැමිණි මොහොතේ සිටම ඇය දැඩි අපහසුතාවයෙන් පසුවී ඇති අතර ආහාර ගැනීමද ප්‍රතික්ෂේප කර ඇත.



පසුදා එනම් 15 වැනිදා උදෑසන වන විට ඇගේ තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. ඇයට වමනය සහ පාචනය ඇති වූ අතර මුහුණේ ඉදිමීමක් සහ පලු දැමීමක්ද දක්නට ලැබුණි. වහාම ක්‍රියාත්මක වූ දෙමව්පියන් ඇයව ප්‍රදේශයේ වෙනත් වෛද්‍යවරයෙකුට පෙන්වූ අතර එහිදී ඇගේ රුධිර පීඩනය අඩුවී ඇති බව නිරීක්ෂණය කර වහාම රෝහල්ගත කරන ලෙස උපදෙස් ලැබී ඇත. ඒ අනුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළද ඇගේ තත්ත්වය බරපතල බැවින් රජයේ රෝහලක් වෙත මාරු කර යැවීමට එම රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණි. ගිලන් රථයකින් හොරණ මූලික රෝහල වෙත ඇයව රැගෙන එනු ලැබීය.

හොරණ රෝහලේදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇයව දැඩි සත්කාර ඒකකයට යොමු කළ අතර එහිදී ඇගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බවට මූලිකව සැක කෙරිණි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය දැඩි ලෙස නොසන්සුන්ව හැසිරී ඇති අතර වේදනාවෙන් කෑගසා තිබේ. වෛද්‍යවරුන් විසින් ඇයට අවශ්‍ය සේලයින්, ඔක්සිජන් සහ රුධිර පාරවිලයනයන් සිදු කරන ලදී. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ශරීරයට දරුණු විෂබීජයක් ඇතුළු වී ඇති බවත්, නිව්මෝනියා තත්ත්වයක් පවතින බවත්ය. මී උණ රෝගය සඳහාද පරීක්ෂණ සිදු කළ නමුත් එම වාර්තා මඟින් රෝගයක් තහවුරු වී නොමැත.

දිනෙන් දින ඇගේ තත්ත්වය අසාධ්‍ය වූ අතර හොරණ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයේ දෝෂයක් හේතුවෙන් ඇයව නාගොඩ රෝහල වෙත ගෙන ගොස් ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය. එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඇගේ මොළයේ වතුර පිරී ඇති බවත් අසාමාන්‍ය ලෙස මොළය ඉදිමී ඇති බවත් අනාවරණය විය. ඒ අනුව මොළයේ ශල්‍යකර්මයක් සඳහා කොළඹට මාරු කර යැවීමට සූදානම් වුවද, ඇගේ ශරීර තත්ත්වය ඉතා අසාධ්‍ය මට්ටමක පැවතීම නිසා ශල්‍යකර්මයක් සිදු කළ නොහැකි බව කොළඹ වෛද්‍යවරුන් දැන්වීමෙන් පසු ඇයව නැවත හොරණ රෝහලට රැගෙන එන ලදී.

දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ මේ දිරිය දියණිය අවසානයේ පසුගිය 28 වනදා රාත්‍රී 8.30 ට පමණ මෙලොව හැර ගියාය. ඇය මියගියේ කුමන හේතුවක් නිසාද යන්න නිශ්චිතවම අනාවරණය කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය. වෛද්‍යවරුන් විසින් මඩ වතුරේ ඇවිද්දේ දැයි මවගෙන් විමසා තිබුණද, නොවැම්බර් මස 03 වැනිදා උයන්වත්ත වැවේ වතුර පෑගුනා හැරෙන්නට දියණිය මඩේ බැස නොමැති බව දෙමව්පියන් තහවුරු කර තිබේ. දත ගැලවීමේ සිද්ධිය සහ ඉන්පසු ඇතිවූ ආසාත්මිකතාවයක් හෝ විෂබීජයක් ශරීරගත වීම මෙම මරණයට හේතු වූයේද යන්න පිළිබඳව බරපතල සැකයක් පවුලේ ඥාතීන් තුළ පවතී.

පොකුණුවිට, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ අංක 287/3 ලිපිනයේ පදිංචි ලක්මාලි ප්‍රියදර්ශනී සහ චන්දන කුමාර යුවළගේ බාල දියණිය වූ දෙව්මිගේ වියෝව මුළු ප්‍රදේශයම කම්පාවට පත් කර ඇත. ජර්මන් ටෙක් ආයතනයේ කාර්යාල කාර්ය සහායකවරයකු ලෙස සේවය කරන ඇගේ පියාටත්, මවටත්, එකම වැඩිමහල් සොහොයුරිය වන ජනින්ද්‍රි ශෂීප්‍රභාටත් මෙම වියෝව දරාගත නොහැකි වේදනාවක් ගෙන දී තිබේ. මල් වැනි දරුවෙකු සුළු ප්‍රතිකාරයක් සඳහා ගොස් යළි කිසිදා නොඑන ගමන් යාම කාගේත් හදවත් කම්පාවට පත් කරන සිදුවීමකි. මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සැබෑ හේතුව අනාවරණය කර ගැනීම දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුවයි. අනාගත සිහින රාශියක් පොදි බැඳගෙන සිටි දෙව්මි මදූෂිකා නම් ඒ දීප්තිමත් තරුණිය අකාලයේ නිවී ගියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් යම් අඩුපාඩු හෝ නොසැලකිලිමත්කම් පිළිබඳවද සමාජය හමුවේ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

news-2025-12-31-041724




news-2025-12-30-131325