a-sewanagala-school-sports-teacher-has-been-caught-packing-ice-from-the-teachers-house
සෙවණගල ප්‍රදේශයේ විද්‍යාලයක ක්‍රීඩා ගුරුවරයකු ඇතුළු තිදෙනකු අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටියදී පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අදාළ විද්‍යාලයේ නිල නිවෙස තුළදී බව සෙවණගල පොලිසිය සඳහන් කරයි. 




සැකපිට අත්අඩංගුවට ගත් අය අතර 28 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයා, 29 හැවිරිදි අයකු සහ 40 හැවිරිදි තවත් අයකු සිටින බව පොලිසිය පවසයි.

පොලීසිය පාසල් නිල නිවස වටලන අවස්ථාවේදී ක්‍රීඩා ගුරුවරයා ඇතුළු සැකකරුවන් තිදෙනාම මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිට ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ අවස්ථාවේදී ක්‍රීඩා ගුරුවරයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 2ක්ද, දෙවැනි සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 110ක්ද, තෙවැනි සැකකරු සන්තකයේ මිලිග්‍රෑම් 150ක්ද තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සමග ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය ප්‍රකාශ කරයි.




පොලිසියට මාස කිහිපයකට පෙර සිට ලැබුණු තොරතුරක් මත පදනම්ව, කිහිප වතාවක් රැකවල්ලා සිට මෙම මෙහෙයුම සිදුකර තිබේ. මෙම තොරතුරු අනුව පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුකර ඇති බවට දැඩි සැකයක් පවතින බව සෙවණගල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

මීට අමතරව, අත්අඩංගුවට ගත් ක්‍රීඩා ගුරුවරයාගේ පියා ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වැරැදිකරුවකු වී දැනට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින බව පොලිසිය හෙළි කරයි. ඔහුගේ මව ද කසිප්පු ජාවාරමේ නියැලෙන්නියක බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර, සැකකාර ගුරුවරයා සේවය කරන විද්‍යාලයේ දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇත්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.