මාර්ගගත සූදු ක්‍රීඩාවට ඇබ්බැහිව සිටි නාවික භටයෙකු ඊයේ (24) අලුයම ත්‍රිකුණාමලයේදී ත්‍රිරෝද රථයක් සොරාගෙන පලායමින් සිටියදී වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිනමා ශාලාවක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් මෙලෙස සොරකම් කර ඇති බව වාර්තා වේ.
වරාය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සමරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් සැකකරු සහ සොරකම් කරන ලද ත්‍රිරෝද රථය ලුහුබැඳ ගොස් ඇත. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරතුරදී, එම ත්‍රිරෝද රථය තවත් වාහනයක ගැටී පෙරළී ගිය බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කරන භටයෙකි. පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔහු නිවාඩු ලබා ගාල්ලේ පිහිටි සිය නිවසට ගොස් නැවත පැමිණීමෙන් පසු කඳවුරට වාර්තා නොකර මෙම සොරකම සිදුකර ඇති බවයි. ඔහු ජංගම දුරකථන යෙදවුමක් හරහා මාර්ගගත ක්‍රමයට සූදු ක්‍රීඩාවේ යෙදීම නිසා අධික ලෙස ණය වී ඇති අතර, රුපියල් 5,000ක මුදලක් සොයා ගැනීම සඳහා මෙම අපරාධය සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සමරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. බී. සී. කේ. නානායක්කාර මහතා විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.